රසායනික පොහොර ඉල්ලා නුවරඑලිය එළවළු ගොවියෝ මහා සංඝරත්නය සමඟ පාරට බසිති

116

* උද්ඝෝෂණයට සහයෝගය දක්වා නගරයේ සියලූම වෙළෙඳසල්  වසා දමයි

එළවළු වගාවට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉල්ලා රජයට බල කරමින් නුවරඑලිය එළවළු වගා ගොවින්, ගොවි සංවිධාන සහ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය එක්ව ඊයේ (17) දින උද්ඝෝෂණයක නිරත වූහ.

රසායනික පොහොර ඉල්ලා නුවරඑලිය එළවළු ගොවියෝ මහා සංඝරත්නය සමඟ පාරට බසිති

නුවරඑලිය ප‍්‍රධාන තැපැල් කාර්යාලය අසලට එක් වූ ප‍්‍රදේශයේ ගොවි සංවිධාන, එහි සාමාජිකයන්, නුවරඑලිය ව්‍යාපාරික ප‍්‍රජාව, ප‍්‍රදේශයේ මහ සංඝරත්නය එක්ව උද්ඝෝෂණය පවත්වා පසුව නුවරඑලිය නගරයේ විරෝධතා පෙළපාලියකද නිරත වූහ.

නුවරඑලිය එළවළු ගොවින්ගේ උද්ඝෝෂණයට සහයෝගය දක්වා නුවරඑලිය නගරයේ සියළුම වෙළඳසැල් උද්ඝෝෂණය පැවැති පැයකට ආසන්න කාලයක් වසා දැමීමට කටයුතු කළහ. උද්ඝෝෂණයේ නිරතව සිටි නුවරඑලිය ගොවි සංවිධාන සාමාජිකයන් සහ ගොවින් කියා සිටියේ කාලයක් තිස්සේ තමන් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් එළවළු වගාව සාර්ථකව සිදුකරගෙන පැමිණි බවයි.

තම වගාවන්ට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැති වීමෙන් එළවළු වගාවේ ඵලදාව අඩු වී ගොවීන් ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වී ඇති බවයි. නුවරඑලිය එළවළු වගා ගොවීන්ට රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙසත්, එසේ රසායනික පොහොර ලබාදීමට නොහැකි නම් ආනයනික පොහොර ලබාදෙන ලෙස උද්ඝෝෂණයේ නිරතව සිටි ගොවියෝ රජයට කියා සිටිහ.

නුවරඑලිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment