රසායනික පොහොර, කාබනික කෘෂිකර්මාන්තය සහ සහනාධාර

1024

ශ්‍රී ලංකාවේ වී වගාව සහ සහල් නිෂ්පාදනය පිළිබඳ ශිලා ලේඛන මත පදනම් වූ පැරණිම ලිඛිත සාක්ෂිය ලෙස වවුනියාව-හොරොව්පොතාන මාර්ගයේ සැතැපුම් හයක් පමණ ගමන් කළ විට හමුවන තෝනිගල ශිලා ලිපිය සැලකිය හැකිය. එය 4 වන ශත වර්ෂයේ දී මහසෙන් රජුගේ පුත් කුමරුවකු වන ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රි.ව. 303 – 331) විසින් පිහිටුවා ඇති බවත්, එසමයෙහි එම ප්‍රදේශයේ වී, උඳු සහ මුං වගා කළේ යැයි සඳහන්ව ඇති බවත් විශ්‍රාමික කීර්තිමත් කෘෂි දේශගුණික විද්‍යාඥයෙක් වන ආචාර්ය රන්ජිත් පුණ්‍යවර්ධන මා සමග පවසා ඇත. මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයේ පූර්විකාව ලෙස ප්‍රදර්ශනය කළ වීඩියෝ පටයක සඳහන් වූ බවද මගේ මතකයේ ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ වී වගා ඉතිහාසය ක්‍රි. ව. 303-331 කාලය වෙත දිව යයි (එය මීට වඩා පැරණි විය හැක). ක්‍රි. ව. 1153-1186 දක්වා රජ කළ මහා පරාක්‍රමබාහු රජ සමයේ අප රට පෙරදිග ධාන්‍යාගාරය ලෙස හඳුන්වා ඇත. ධාන්‍ය වර්ග නිෂ්පාදනය අතින් අවම වශයෙන් ආසියානු කලාපය තුළ අපට තිබූ පිළිගැනීම එයින් පිළිබිඹු වේ. සශ්‍රීක කෘෂිකර්මාන්තයක් සඳහා එකල භාවිත කළ වගා තාක්ෂණ පිළිබඳ පැහැදිලි විස්තරයක් නොමැති වුවත් වාරි ජල සම්පාදනය ඒ සඳහා බෙහෙවින් ඉවහල් වූ බව පැහැදිලි ය.

ඉන් අනතුරුව ඉතිහාසයේ විවිධ විදේශ ආක්‍රමණ තුළින් බැට කෑ අපේ ආර්ථිකය, විශේෂයෙන්ම කෘෂි ආර්ථිකය, නැවත ගොඩනැගීමට මුලික වූයේ විද්‍යාඥයන්ගේ අප්‍රතිහත ධෛර්යය මෙන්ම ගොවි ප්‍රජාව විසින් එම තාක්ෂණයන් යහපත් ආකාරයෙන් වැළඳ ගැනීම බව නොරහසකි. නිදහස ලැබීමෙන් පසු, 1940 දශකයේදී තිබූ සාම්ප්‍රදායික වී ප්‍රභේද මෙන්ම සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණය ද උපයෝගී කරගෙන නිපදවා ගත් හෙක්ටාරයකට කිලෝ ග්‍රෑම් 650 පමණ වන සුළු වී අස්වැන්න මගින් වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවීම කළ නොහැකි බව එවකට සිටි විද්‍යාඥයන් හොඳින් වටහා ගෙන සිටීම වාසනාවකි. 1958 වසරේදී අප අදත් ආඩම්බරයෙන් හඳුන්වන H‍4 (එච්4) වී ප්‍රභේදය බිහිවීම සමගම ශ්‍රී ලංකාවේ වී හරිත විප්ලවය ආරම්භ කෙරුණි. මෙමගින් අපේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටාරයකට කිලෝ ග්‍රෑම් 2000 දක්වා වැඩිකිරීමට හැකි විය. මෙම උද්දීපනය තුළින් බී.ජී. (බතලගොඩ), එල්.ඩී. (ලබුදුව), ඒ.ටී. (අම්බලන්තොට) සහ බී.ඩබ්ලිව්. (බෝඹුවල) යන නම්වලින් ශ්‍රී ලංකාවේ වී පර්යේෂණායතනවලින් බිහිවූ වී ප්‍රභේද මගින් රටේ සාමාන්‍ය වී අස්වැන්න 2021 වන විට හෙක්ටාරයකට කිලෝ ග්‍රෑම් 4,670 කට පමණ ඉහළ නැංවීම ආඩම්බර විය යුතු කරුණකි. අද ශ්‍රී ලංකාවේ වගා කරන සමස්ත වී වපසරියෙන් 98%ක් පමණ වෙන්ව ඇත්තේ මෙම දේශීයව වැඩිදියුණු කළ නව වී ප්‍රභේද වගා කිරීමටය.

වර්තමානයේ යල සහ මහ දෙකන්නයේම වගා කිරීමට බලාපොරොත්තු වන සමස්ත වී වගා වපසරිය හෙක්ටයාර 1,300,000 පමණ වේ. මීට වසර 70 කට එපිට අප ලබා ගත් සාමාන්‍ය අස්වැන්න මෙම වපසරියෙන් ගුණනය කළ විට සහ වසර 2021 වනවිට වී වගාවේ දී අප ලබාගත් සාමාන්‍ය අස්වැන්නෙන් ගුණනය කළ විට ලැබෙන සමස්ත නිෂ්පාදනය තුළින් වී වගාව මගින් අප ලබා ඇති දියුණුව හොඳින් පැහැදිලි වේ. පසුගිය වසර 70ක පමණ කාලයේදී අපේ වී වගා වපසරිය වැඩි වී ඇත්තේ දෙගුණයකටත් අඩු ප්‍රමාණයකින් වන නමුත් සාමාන්‍ය වී අස්වැන්න 7.4 ගුණයකටත් වඩා වැඩි වීම මෙම දියුණුවට ප්‍රධාන වශයෙන් දායක වී ඇත. 2008 වසරේ සිට 2021 වසර වනවිටත්, දේශගුණික විපර්යාසවලින් බලපෑම් සිදු වූ වගා කන්න කිහිපයක් හැරුණු කොට, අපේ වාර්ෂික පරිභෝජන අවශ්‍යතාවට වඩා සහල් ලබා ගත හැකි වී නිෂ්පාදනයක් ශ්‍රී ලංකාව තුළ කර තිබුණි.

ශාකයක් යනු ජීවියෙකි. කිරි දෙනකගෙන් වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට එම සත්ත්වයාට ජලය සහ පෝෂණය අවශ්‍ය ප්‍රමාණවලින් ලබා දීම අත්‍යවශ්‍ය වනවා මෙන්ම, ශාකයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට, පසේ එම අවශ්‍ය වන පෝෂණය නොමැති නම්, බාහිරව එය සැපයීම කළ යුතුවම ඇත. පුරාණයේ අපේ රටේ වැඩි වයස් වී (මාස 6-8 කදී අස්වනු නෙළන) වගා කර ඇති බවට සාක්ෂි අවශ්‍ය තරම් ඇති අතර වී වගා කර ඇත්තේ වර්ෂයේ එක කන්නයක් පමණක් බව පැහැදිලිය. අපි පසුගිය දශක කිහිපය පුරාවට වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවීමට වැඩි අස්වනු දෙන මාස 2.5 සිට 4.5 දක්වා කෙටි කාලයකින් අස්වනු නෙළිය හැකි, වසරකට කන්න දෙකක් වගා කළ හැකි ප්‍රභේද නිපදවා වාර්ෂික වී අස්වැන්න වැඩි කරගෙන ඇත. අස්වැන්න නෙළීමේදී වී ශාකය අවශෝෂණය කරගත් පෝෂක බොහොමයක් පසෙන් ඉවත් වන බව පැහැදිලිය. හෙක්ටාරයකින් වී කිලෝ ග්‍රෑම් 1,000 ක් ලබා ගැනීමට නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 21ක් අවශ්‍ය බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.

හෙක්ටාරයකින් සාමාන්‍ය අස්වැන්න කිලෝ ග්‍රෑම් 5,000 ක් ලැබේ නම් (දැනටමත් මහවැලි කලාපයේ වාරි ජල සම්පාදනය මගින් හෙක්ටාරයකට කිලෝ ග්‍රෑම් 5,800 ක් පමණ අස්වනු නෙළාගනු ලැබේ) ඒ සඳහා නයිට්‍රජන් කිලෝ ග්‍රෑම් 105 ක් පමණ අවශ්‍ය වේ. කන්න දෙකක් වගා කිරීමේදී මෙම ප්‍රමාණය දෙගුණ වන බව මතක තබා ගත යුතුය.

සමස්තයක් ලෙස ශාක පෝෂණය සඳහා වැදගත් වන පෝෂක අතුරින් කළමනාකරණයට අපහසුම වන්නේ නයිට්‍රජන් පෝෂකයයි. වායු ගෝලයේ 78% අන්තර්ගත වන්නේ ද නයිට්‍රජන් වායුව ය. එසේ වුවත් වායුගෝලීය නයිට්‍රජන් ඒ ඇති සැටියෙන් ප්‍රයෝජනයට ගැනීමට ශාකයට නොහැකි වන්නේ මෙම වායු ආකාරයේදී නයිට්‍රජන් අනු දෙකක් ත්‍රිත්ව බන්ධනයකින් බැඳී ඇති බැවිනි. යම් පමණකට හෝ එම නයිට්‍රජන් වායුව ප්‍රයෝජනයට ගත හැක්කේ ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වයක් තුළිනි. මෙම පෝෂක අවශ්‍යතාව විද්‍යාත්මකව වටහාගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලංකාවේ විවිධ දේශගුණික කලාපවලින් ප්‍රායෝගිකව ලැබිය හැකි ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට නයිට්‍රජන් 46% අඩංගු යූරියා පොහොර නිර්දේශ වෙන් වෙන්ව ඉදිරිපත් කර ඇත. පොහොර යනු ශාක පෝෂක ලබාදෙන ප්‍රභවයකි. එම ප්‍රභවයට බෝගයේ විවිධ වර්ධක අවධිවලට අවශ්‍ය වන අදාළ පෝෂක ප්‍රමාණ ලබා දීමට හැකියාව තිබිය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වී බෝගය සඳහා වපුරා සති 2, 4, 6 සහ 8 යන කාලවලට යූරියා අවශ්‍ය ප්‍රමාණය කඩින් කඩ දීම මගින් බෝගයේ ජීවිත කාලය තුළදී මුළු නයිට්‍රජන් අවශ්‍යතාව ලබාදීමට කටයුතු කර ඇත්තේ එබැවිනි. බෝගයේ අස්වැන්න වැඩි කරන අතර, යූරියා මගින් පරිසරයට නයිට්‍රජන් අනවශ්‍ය පරිදි මුදා හැරීම ද ඉන් පරිසරයට වන හානිය අවම කිරීමට ද විද්‍යාඥයන් විසින් කටයුතු කර ඇත්තේ එලෙසය.

රසායනික පොහොර සහ පලිබෝධනාශක ආනයනය තහනම් කිරීමට ගත් අත්තනෝමතික තීරණය නිසා
පසුගිය මහ කන්නයේදී සිදු වූ අස්වනු හානිය පිළිබඳ විවිධ ඇස්තමේන්තු ඉදිරිපත් වී තිබුණි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මෑතකදී නිකුත් කළ දත්තවලට අනුව, 2021/2022 මහා කන්නයේ සමස්ත වී අස්වැන්න (මෙටි්‍රක් ටොන් 1,931,230), ඉන් පෙර 2020/2021 මහ කන්නයේදී දී ලැබූ වී අස්වැන්නට (මෙටි්‍රක් ටොන් 3,061,304) සාපේක්ෂව 36.9% කින්ද, 2019/2020 මහ කන්නයේ අස්වැන්නට සාපේක්ෂව 39.6% කින්ද පහළ බැස ඇත. 2022 ජුලි මස 28 වැනි දින ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ 2022 වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ 6.8% ක අපගමනයක් ඇතිවූ බවත්, මෙම කාලය තුළ රසායනික පොහොර හිඟය කෘෂිකාර්මික නිෂ්පාදනවලට සහ විශේෂයෙන් සහල් නිෂ්පාදනයට දැඩි බලපෑමක් ඇති කළ බවත් ය. පැවති තත්ත්වය පැහැදිලි කිරීමට වෙනත් අටුවා ටීකා අනවශ්‍ය ය. වර්තමාන යල කන්නයේ තත්ත්වය මීටත් වඩා අයහපත් බව පැහැදිලිය.

කාබනික ගොවිතැන අප අමුතුවෙන් හුරුපුරුදු වූ වචන දෙකක් හෝ කෘෂිකාර්මික පද්ධතියක් නොවේ. දශක ගණනාවක් තිස්සේ කෘත්‍රිම බාහිර යෙදවුමකින් තොරව කෘෂිකාර්මික කටයුතු තමන්ට සරිලන පරිමාණයෙන් කළ ගොවි ප්‍රජාවක් සහ ව්‍යාපාරික ප්‍රජාවක් අප රට තුළ තවමත් තම කාබනික ගොවිතැන් කටයුතු සාර්ථකව කරමින් සිටී. ඒ ගැන විවාදයක් නැත. කෘෂිකර්මාන්තයේ හරය නොදත් බහුශ්‍රැත ලෙස පෙනීසිටි කිහිපදෙනෙකුගේ අවිද්‍යාව මුල් කරගත් අමන තීරණ මත කාබනික කෘෂිකර්මාන්තය අවමානයට ලක් කිරීම හෝ අවතක්සේරු කිරීම නොකළ යුතුය. එය යම් පමණකට හෝ අවතක්සේරුවකට ලක්වූවා නම්, කාබනික කෘෂිකර්මය ගැන අධිතක්සේරු ඉදිරිපත් කරමින් සැමදෙනා නොමග යැවූ දේශපාලකයන් සහ ඔවුන්ගේ උපදේශකයන්, සමහරක් කාබනික පොහොර නිෂ්පාදන සමාගම්, විද්‍යාඥයන්, වෘත්තිකයින්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වගකිව යුතුය.

සහතික කළ කාබනික නිෂ්පාදන සඳහා ඉතා වටිනා විදේශ වෙළඳපළක් ඇත. මෙම වෙළඳපළ ඉලක්ක කරගත් නිෂ්පාදන තුළින් අපට අවශ්‍ය විදේශ විනිමය යම් පමණකට හෝ ලැබෙන බව සඳහන් කළ යුතුය. අපනයන ඉලක්ක කරගත් වෙළඳපළ මගින් පිළිගත් තුන්වන පාර්ශ්වයක සහතිකකරණය තුළින් බිහිවන්නාවූ කාබනික කෘෂි නිෂ්පාදන ක්‍රියාවලිය තවත් ශක්තිමත් කළ යුතුය. ශ්‍රී ලංකා අපනයනය සංවර්ධන මණ්ඩලය මගින් පිහිටුවා ඇති ජාතික කාබනික පාලන ඒකකය සහ 2018 වසරේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ඉදිරිපත් කරන ලද අංක 1324 දරන අදාළ ප්‍රමිතීන් මගින් අප රට තුළ කාබනික කෘෂිකර්මාන්තය ගෝලීයව පිළිගත් තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇත.

මීට අමතරව දේශීය වෙළඳපළට කාබනික කෘෂි නිෂ්පාදන සැපයීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, Control Union ආයතනය මෙන්ම, Good Market ආයතනික ව්‍යුහය මගින් ඉදිරිපත් කරන “සහභාගීත්ව කාබනික ඇපකර පද්ධතිය” සහ ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය මගින් ඉදිරිපත් කරන ලද Sri Cert සහතිකකරණ ක්‍රියාවලින් වැදගත් වේ. අපනයන වෙළෙඳපල සඳහා කෘෂි නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී අදාළ සහතිකකරණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වුවද, දේශීය වෙළඳපළට කාබනික කෘෂි නිෂ්පාදන සපයන නිෂ්පාදකයින් කොපමණක් මෙම සහතිකකරණ ක්‍රියාවලින් සහ ප්‍රමිතීන්ට අනුකුලවන්නේ දැයි සැක සහිතය. කාබනික ගොවිතැන සහ වෙළඳපළ සම්බන්ධ විශ්වාසය ගොඩනැගෙන්නේ රටක් ස්වයංපෝෂිත කිරීමට ඇති එකම මග මෙය යයි පුහුතර්ක ඉදිරිපත් කරමින් රටත් ගොවියාත් අමාරුවේ දැමීමෙන් නොව විද්‍යාත්මකව කරන ලද හැදෑරීම් තුළින් පමණි.

2001-2003 වසර දෙකක් ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරයේ සහකාර ලේකම් ලෙස ක්‍රියා කළ මා, එවකට එම ව්‍යාපාරයේ කුඩා වුවත් තිබූ කැපවීම දුටුවෙමි. ශ්‍රී ලංකාව තුළ කාබනික කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනයෑමට එවකට එම ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සරත් රණවීර, ලේකම් ආචාර්ය කීර්ති මොහොට්ටි, සහ තිලක් කාරියවසම් (වර්තමාන සභාපති) වැනි සාමාජිකයන්ගේ ඒ සඳහා වූ අප්‍රතිහත ධෛර්යය දුටිමි. එවකට ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද දේශපාලන අධිකාරියද සම්බන්ධවූ තාක්ෂණික සම්මන්ත්‍රණ සහ දැනුවත් කිරීම් හේතුවෙන් 2003 ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියට, කාබනික ගොවිතැන ඇතුළත් කිරීමට සුළුවෙන් හෝ දායකත්වයක් සැපයීමට මට ද අවස්ථාව ලැබුණි. එහෙත් ‘කාබනික කෘෂිකර්මාන්තය තුළින් රටේ සමස්ත ජාතික ආහාර සුරක්ෂිතතාව ළඟා කරගත හැකිය’ වැනි පුහු උපදෙස්, එකල එම ව්‍යාපාරය දේශපාලන අධිකාරියට කිසිසේත් ලබා දුන්නේ නැත. කෘෂිකර්මාන්තය තුළ නවතම විලාසිතා වචනය බවට “හරිත කෘෂි කර්මාන්තය” දැන් පත්ව ඇත. හරිත විප්ලවයෙන් පසු බිහිවූ විවිධ වචන හරඹ (හරිත විප්ලවයද ඇතුළත්ව) අපට අසන්නට ලැබී ඇත. මෑත කාලයේදී “හරිත” යන පදය වැඩිපුරම භාවිත වූයේ දේශගුණික විපර්යාසවලට දායකවීම එනම් හරිතාගාර වායු විමෝචනය අඩු හෝ අවම කරන තාක්ෂණයන් සඳහාය.

වැරදි ප්‍රතිපත්ති තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට සිදුවී ඇති අයහපත හොඳින් වටහා ගෙන එම බලපෑම ඉදිරි 2022/2023 මහ කන්නයේදී යම් පමණකට හෝ අඩු කරලීමට, රජය මගින් පියවර ගණනාවක් ගනිමින් සිටිනු පෙනේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය යෝජනා ක්‍රම (නව ණය නොව, දැනට ණය මුදල් ලබා දී ඇති ව්‍යාපෘති තුළින් වෙන් කරගත් මුදල්), සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙන්ම අනෙකුත් රජයයන් සහ සංවිධානවල ආධාරයෙන් ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට රජය මහත් පරිශ්‍රමයකින් කටයුතු කරනු පෙනේ. ලෝක වෙළෙඳපළේ පොහොර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය තත්ත්වයක් තුළ යම් පමණකට හෝ අවශ්‍ය සහනාධාර ලබාදෙමින් මෙම මහ කන්නය සඳහා යූරියා කිලෝ ග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 10,000 වන මුදලකටද, බඩ ඉරිඟු සහ තේ වගාවන් සඳහා රුපියල් 15,000 කටද ලබා දීමට යෝජනා වී ඇත. අද ලෝක වෙළෙඳපළේ යූරියා පොහොර මිලෙහි යම් අඩුවක් දක්නට ලැබෙන හෙයින්, ශ්‍රී ලංකා වරායකට ගොඩ බෑමේදී එම පොහොර කිලෝග්‍රෑම් 50 ක මිටියක් රුපියල් 15,000-18,000 වනු ඇත. මෙවන් තත්ත්වයක් තුළ ගොවි ජනතාවගේ සෑම බෝගයක් සඳහාම නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම වැළැක්විය නොහැකි අතර ගොවීන්ට ලැබෙන ලාභය තීරණය කරන වෙළඳපළ මිල අනවශ්‍ය ලෙස පාලනය කිරීම ඔවුනට කරන බලවත් අසාධාරණයකි. පාරිභෝගික ජනතාවට පහසු මිලට ආහාර ලබා ගැනීම සඳහා පසු අස්වනු හානි අවම කිරීම, වෙළඳපළ යාන්ත්‍රණය නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම, කාර්යක්ෂම ප්‍රවාහන සේවා සැපයීම, ආහාර පාරිභෝගිකයා වෙත ළඟාවීමට ගමන් කරන දුර අවම කිරීම වැනි වැඩසටහන් තුළින් කළ යුතුව ඇත. මෙම මහ කන්නයේ වී වගාව සඳහා, සම්පත් සීමිත තත්ත්ව යටතේ, අවශ්‍ය යූරියා ප්‍රමාණයෙන් අවම වශයෙන් 70% ක ප්‍රමාණයක් රජයෙන් සහනාධාර යටතේ ලබා දීමටත්, ඉතිරි උපරිම 30% ක් දක්වා වූ ප්‍රමාණය විවෘත වෙළඳපළෙන් ලබා ගැනීමට හෝ ගුණාත්මය සහතික කරන ලද දේශීයව නිපදවූ කාබනික පොහොර විවෘත වෙළඳපළෙන් හෝ ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් මිලදී ගැනීමටත් ගොවීන් දිරිමත් කර ඇත. වගා බිමට රසායනික පොහොර සහ කාබනික ද්‍රව්‍ය යෙදීම, ඒකාබද්ධ ශාක පෝෂක කළමනාකරණයේ සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වල එක් වැදගත් ලක්ෂණයකි. මෙවර මහ කන්නයේදී කාබනික පොහොර යෙදීම ස්ථිරවම කරන්නේ නම් වී ගොවීන්ට ඒ සඳහා සහනාධාරයක් ලබාදීමට ද රජය තීරණය කර ඇත. මේ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 16ක් බව පැවසේ.

අප අද ගත කරන්නේ සංක්‍රාන්ති සමයකි. නොයෙකුත් නොමග යැවීම්වලට ලක්ව වළපල්ලට ඇද දැමූ කෘෂිකර්මාන්තය යළි ගොඩ නැගීමට ඉදිරි පියවර තැබීම, ගොවීන් තුළ ඇති යෙදවුම් ලබා ගැනීමේ අවිනිශ්චිතතාව මෙන්ම ඔවුන්ගේ බිඳ වැට්ටවූ ජීවනෝපාය යළි නඟා සිටුවීම මෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතාව නැවත පිහිටුවීම ලබන මහ කන්නයේ සිට පටන් ගත යුතුය. පොහොර සහනාධාරය (හෝ නොමිලේ දීම) ගොවි ප්‍රජාව කිසිවිටෙක ඉල්ලූ දෙයක් නොවේ. එය හුදෙක් දේශපාලන අධිකාරිය විසින් කරළියට ගෙන ආ ඡන්ද ගුණ්ඩුවකි. ගොවි ජනතාවට අවශ්‍ය වන්නේ නියමිත වෙලාවට, බෝගයට අවශ්‍ය ප්‍රමාණයට, අස්වනු වැඩි වන අයුරින් ලබා දිය හැකි ගුණාත්මය සහතික කරන ලද පොහොර වෙළඳපළ තුළ පැවතීමය. එය පහසු මිලට ලබා ගැනීමට හැකිවීම ද ප්‍රධාන කරුණකි. එබැවින්, එළඹෙන මහ කන්නය තුළ අවදානම කළමනාකරණය කිරීමට, ඉන්ධන ද ඇතුළු කෘෂි යෙදවුම් සඳහා, යම් පමණක සහනයක් හෝ ගොවි ජනතාවට ලබාදිය යුතුමය.

මහාචාර්ය බුද්ධි මාරඹේ
කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment