රස පරීක්‍ෂක ගෑස් සංයුතිය ගැන නොකීමෙන් ජනතාව අතර විශාල සැකයක් ඇතිවෙලා – මන්ත‍්‍රී මුජිබර් රහුමාන්

109

මාසයක් ඇතුළත ගෑස් කාන්දු වී පිපිරීමෙන් විශාල හානියක් සිදුවුණා

ආණ්ඩුව කෘෂිකර්මය ගැන ගත් ඔලමොට්ටල තීන්දු නිසා ගොවියා අසරණ වෙලා

ආණ්ඩුව කෘෂිකර්මය පිළිබඳ ගත්ත ඔලමොට්ටල තීන්දු නිසා රටට විශාල හානියක් සිදු වී ඇති බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

අද රටේ වර්තමාන තත්ත්වය දිහා බැලූවම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. එය උදාකර දුන්නේ වර්තමාන රජයයි. අද කාබනික පොහොර ප‍්‍රශ්නයත් එක්තරා නාට්‍යයක් බව පේනවා. අපිට මතකයි ජනාධිපති මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා මහින්ද රාජපක්ෂ තමන්ගේ සහෝදරයා පොහොර රුපියල් 350 ට ලබා දුන්න නම් අපි ඒකට මොකටද 350ක් ගන්නේ අත් දෙකම උස්සලා කිව්වා පොහොර නොමිලේ දෙනවා කියලා. නොමිලේ පොහොර දෙන්න ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද මොකක්ද කරලා තියෙන්නේ. ඊනියා කාබනික පොහොර පිස්සුව නිසා මිථ්‍යාව පස්සේ ගිහිල්ලා මොකක්ද රටට වෙලා තියෙන්නේ. අද මේ වෙනකොට ගැසට් රිවර්ස් කරමින් තීන්දුවක් ගත්තා රසායනික පොහොර නැවත ගෙන්වන්න. මේ වෙනකොට මහ කන්නය ගොවියා ආරම්භ කරල මේ වෙනකොට නතර කරලා. විශේෂඥ මතය අනුව මහ කන්නයේ ලැබෙන්න තිබුණු අස්වැන්න අහිමි වෙලා. මේ වෙනකොට අපේ රටේ අපනයන බෝග හැම එකකටම අද වෙනකොට විශාල හානියක් ඇතිවෙලා. කෘෂිකර්මය පිළිබඳ අද ගත්ත ඔලමොට්ටල තීන්දු නිසා රටට විශාල හානියක් සිදු වී තිබෙනවා.

කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා :

අද වන විට රට තුළ එල්පී ගෑස් සම්බන්ධව ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. මෙහි සංයුතිය ගැන. පසුගිය දවස්වල කොළඹ රේස්කෝස් පිටියේ තියෙන මැක්ඩොනල්ඞ් ආයතනය තුළත් අනතුරුව වැලිගම – රත්නපුර හා හෝකන්දර ප‍්‍රදේශය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ගෑස් ටැංකිවල ගෑස් කාන්දුවීම නිසා යම් පිපිරීමක් ඇති වුණා. ඒක අපි දන්නවා. ලංකාවේ පොලිසිය පවා වාර්තා කර තිබුණා, මාධ්‍යවල පළ වුණා ගෑස් ටැංකිවල තිබෙන ගෑස් කාන්දුවීම හරහා තමයි පිපිරීම සිද්ධ වුණේ කියලා.

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කළා. ගෑස් සංයුතිය පිළිබඳව. විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය හිටපු විධායක නිලධාරීන් අධ්‍යක්ෂකවරයා වූ රොෂාන් ගුණරත්න මහතා මේ පිළිබඳව කරුණු රාශියක් පසුගිය දවස්වල හෙළිදරව් කර තිබුණා. එය සමාජ මාධ්‍ය හරහා දැක්කා. ඊයේ අපි දැක්කා විශේෂයෙන්ම රාජ්‍ය ඇමැතිතුමා මේ පිළිබඳව ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් කරනවා. එයට එතුමා එක්ක එකතු වෙනවා රජයේ රස පරීක්ෂක නිලධාරියෙක්. එහිදී ප‍්‍රධානම ප‍්‍රශ්නය රස පරීක්ෂක ආයතනය කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒ විශ්වාසයත් කඩල දාලා ඇමැතිතුමා එක්ක ඇවිල්ලා වාඩි වෙලා තියෙනවා. ආණ්ඩු වෙනස් වුණත් රාජ්‍ය ආයතන ස්වාධීනව වැඩ කරන්න ඕන. ඊයේ ඒ පුවත්පත් සාකච්ඡුාව තුළින් රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ගැනත් ජනතාව අතර සැකයක් ඇති වෙනවා. රස පරීක්ෂක වාර්තාවේ එතුමා කොහේවත් ගෑස් සංයුතිය ගැන කියන්නේ නැහැ. එයා කිව්වේ ගෑස් ටැංකි පිපිරුණේ නැහැ කියන. ඒ වගේම තමයි අපිට ඉගැන්නුවේ ගෑස් පාවිච්චි කරන විදිය. බට කඩා වැටිල තියෙන්න හොඳ නෑ. පරණ ප්ලග් තියෙන්න හොඳ නෑ. දොරවල් ජනෙල් ඇරලා පත්තු කරන්න කියලා උපදෙස් දෙනවා. එයා හිතාගෙන ඉන්නවා මේ රටේ මිනිස්සු ගෑස් පාවිච්චි කරන්නේ ඊයේ ඉඳන් කියලා. මම දන්නේ නෑ එයා හිතාගෙන ඉන්නවද දන්නෑ මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා. මේ රටේ පසුගිය මාසය ඇතුළත සිලින්ඩර විශාල ප‍්‍රමාණයක් ගෑස් කාන්දුවෙලා පිපිරීමට ලක් වෙලා තියෙනවා. ඒ වාර්තා පොලිසිය තහවුරු කරලා තියෙනවා.

ටැංකිය පුපුරන්නේ නැහැ කියලා අපි කව්රුත් දන්නවා. ඒක ඇමැතිතුමා කියන්න ඕන නෑ. නමුත් පිපිරෙන්නේ ගෑස්. ඒකට තමයි මිනිස්සු කියන්නේ ගෑස් ටැංකියක් කියලා. ප‍්‍රශ්නය තියෙන්නේ ඒක නෙමෙයි. ගෑස්වල සංයුතිය වෙනස් කරාද ඒකට උත්තරයක් දෙන්න. පළවෙනි දේ තමයි ලිට්‍රෝ ගෑස් පුවත්පත් සාකච්ඡුාවේදී නිලධාරීන් ගෑස් සංයුතිය ගැන කිව්වේ නැහැ. එයා කිව්වා එස්එල්එස් ස්ටෑන්ඞ් එකට තියනවා කියලා. එයා බියුටේන් ප්‍රොපේන් සංයුතිය ගැන කිව්වේ නැහැ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment