රාජකාරි ප‍්‍රකාශ ගැන දප්පුලගෙන් ප‍්‍රශ්න කරන්න බැහැ… ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙන්වා දෙයි

382

සිය ධුරය දරමින් සිටියදී රාජකාරිමය කටයුත්තක් සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයක් පිළිබඳව චූදිතයකු ලෙස කැඳවා නීතිපතිවරයකුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් ලබා ගැනීමේ නීතිමය බලයක් පොලිසියට හෝ වෙනත් විමර්ශන අංශයකට නැතැයි ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ නීති විශාරදයකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

කෙසේ නමුත් රාජකාරිමය නොවන කටයුත්තක් සම්බන්ධයෙන් නීතිපති ධුරය දරන සමයේ හෝ යම් ප‍්‍රකාශයක් කර ඇත්නම් ජනතාව තුළ පවතින යම් සැකසංකා දුරුකර ගැනීම සඳහා හෝ ඉදිරි විමර්ශනවලට උපයෝගි කර ගැනීමට කරුණු පැහැදිලි කර ගැනීමට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක බාධාවක් නොමැති බව ද හෙතෙම කීය.

පාස්කු ප‍්‍රහාරවලට සම්බන්ධ චූදිතයන්ට නඩු පැවරීමේ කටයුතු ප‍්‍රමාද වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අසම්පූර්ණ නිසා බවත් එලෙස විමර්ශන අසම්පූර්ණ වීම පිටුපස යම්කිසි කුමන්ත‍්‍රණයක් තිබිය හැකි බවට ද එක්තරා මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප‍්‍රකාශ කළ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට හැකි බවට ආරක්ෂක ලේකම් කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමසීමකට කරුණු දක්වමින් හෙතෙම කීය.

හිටපු නීතිපතිවරයා එම ප‍්‍රකාශ කර ඇත්තේ නිල වශයෙන් නොව පෞද්ගලික මට්ටමින් වන බව පෙනීයන බවත් එය කර ඇත්තේ ඔහු විශ‍්‍රාම යෑමට දින කිහිපයකට පෙර බවත් පෙනී යන්නේ යැයි ද ඔහු කීය.

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව නිල කාලය අතරතුර කළ හෝ නොකළ කි‍්‍රයාවකට එරෙහිව නීතිමය පියවර ගැනීම වැළැක්විය හැකි වන මුක්තිය හිමිව ඇත්තේ ජනාධිපතිවරයකුට පමණකැයි ද එහෙත් අපරාධ චෝදනා එල්ල වූ විට නිසි විමර්ශන පවත්වා රටේ ජනාධිපතිවරයාට එරෙහිව වුව ද නීතිමය පියවර ගැනීමේ බලය ව්‍යවස්ථාව මගින් හිමිකර ඇති බව ද ඔහු කීය.

 රජයේ ප‍්‍රධාන නීති උපදේශකවරයා ලෙස කටයුතු කළත් විශ‍්‍රාම ගිය පසු නීතිපතිවරයා ද රටේ සෙසු ජනතාව හා සමාන වන්නේ යැයි ද ගාමිණී පෙරේරා මහතා කීවේය.

එ්. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment