රාජකීයයන්ගේ අපරාජිත ගමන මහනුවරින් නිමා කරයි

157

සැළසුම් සහගත ආරම්භයත් ආක්‍රමණශීලී අවසානයත් මැනවින් සනිටුහන් කර ගනිමින් ඉකුත් සිකුරාදා (08දා) කොළඹ පදනම් මාවතේ පිහිටි රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලද “ඩයලොග් අභියෝග කුසලාන” පාසල් වයස අවුරුදු 20 න් පහළ රග්බි පාපන්දු තරගාවලියේ ‘ඒ’ කොටසේ මනරම් ජයග්‍රහණයක පහස විඳින්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහල හමුවේ එක ලකුණක අතිශය තියුණු පරාජයකට ලක්වීමට සත්කාරක රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට සිදු වීම කැපී පෙනුණි.

ඒ අනුව මෙවර තරගාවලියේ පළමු පරාජයේ වේදනාව විඳීමට ද රාජකීය විදුහලට සිදු විය.

තරගය ඇරඹී ප්‍රථම භාගයේ දී ලකුණු 13 – 06 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වුව ද දෙවන භාගය තුළ ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් රාජකීය විදුහල ලකුණු 14 ක් සටහන් කර ගත්තේ ප්‍රතිවාදී ත්‍රිත්ව විදුහල ලකුණු 08 කට සීමා කරමිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 21 – 20 ක් ලෙස මෙම තරගය ජය ගනිමින් ඩයලොග් ලීග් ශූරතා ප්‍රසාද ලකුණු පූරුවේ පළමු ස්ථානයේ නම සඳහන් කර ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සිකුරාදා (08දා) සවස සමත් වූහ.

තරගයේ දෙවන භාගය තුළ ලකුණු 13 – 13 ක් ලෙස සම තත්ත්වයක ද තවත් අවස්ථාවක ලකුණු 20 – 16 ක් ලෙස ද පෙරමුණ ගැනීමට රාජකීය පිලට හැකි වුවද අවසාන මිනිත්තු කිහිපය තුළ ත්‍රිත්ව ක්‍රීඩක යසිරු ආරියවංශ වාර්තා කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු 21 – 20 ක් ලෙස පසුබසින්නට සිදුවීම ඒ අතරේ කැපී පෙනුණි.

ජයග්‍රාහක ත්‍රිත්ව විදුහල එක් ගෝල් දිනුමක් සහ එක් උත්සාහක දිනුමක් සමගින් දඬුවම් පහර 03 ක් මඟින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත රාජකීය විදුහල ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් ආශ්‍රිතව තම ලකුණු එකතුව සටහන් කර ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment