රාජකීය කඩුව දැන් පොලිසියේ තිබේ

907

මහියංගනයේ නිධානයක් හාරා ලබාගත් ඉපැරැණි කඩුවක් රුපියල් ලක්‍ෂ 40 කට විකිණීමට තැත් කළ තරුණයන් දෙදෙනකු වලානේ දූෂණ මර්දන බළකාය විසින් සමනලවැවදී අත්අඩංගුවට ගෙන තිබේ. නිධානය තිබී ඇත්තේ මහියංගනයේ පුරාවිද්‍යා රක්‍ෂිතය තුළ ය. ඉන් ලබාගත් කඩුව වළගම්බා රජුගේ බවට ඔප්පු කිරීමට සාක්‍ෂි නැත. ඒ බව ඔප්පු කිරීමට නම් වළගම්බා රජු ජීවතුන් අතර සිටිය යුතු ය. නො එසේ නම් රජුගේ ඇඟිලි සලකුණු සහ කඩුවේ තිබෙන ඇඟිලි සලකුණු ගැළපිය යුතුය. සාමාන්‍යයෙන් ඇඟිලි සලකුණු තිබෙන්නේ රහස් පොලිසියේ ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව සතු ය. භයානක අපරාධකරුවන්ගේ ඇඟිලි සලකුණු දස දහස් ගණනක් මේ දෙපාර්තමේන්තුව සතුව තිබේ. වළගම්බා රජු යනු එවැනි අපරාධකරුවකු නොවන අතර, එතුමාගේ ඇඟිලි සලකුණු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබීමට කිසිදු ඉඩක් නැත. එහෙත් පෙර කී තරුණයන් දෙදෙනා විසින් මුතියංගනයේදී හාරන ලද නිධානය තුළ වළගම්බා රජුගේ කඩුව සහ ආභරණ තිබෙන බව ජනප්‍රවාදවල සඳහන්ව ඇත. තරුණයන් දෙදෙනා විසින් ඉහත සඳහන් ජනප්‍රවාද නමැති ලණුව ගිලදමා තිබෙන බව පෙනේ. මෙතැන් සිට පොලිසියේදී බැටන්පොලු ගිල දැමීමට ඔවුන්ට සිදුවනවා ඇත.

නිධානය නමැති ප්‍රවාදය විසින් මේ රටට සහ එහි ජනතාවටත් පුරාවස්තුවලටත් කෙරුණු හානිය අතිමහත් ය. ලංකාවේ ඉපැරැණි දාගැබ්, බුදුපිළිම දහස් ගණනක් නිධන් කොල්ලකරුවන් විසින් හාරනු ලැබ ඇත. නිධානයක් යනු කිසියම් ධනයකි. සමහර විට නිධානයක් තුළ මැණික් තිබේ. තවත් විටෙක නිධානයක් තුළ රත්තරන් සහ රිදී තිබේ. තවත් විටෙක ලෝකඩවලින් සැදූ පරණ අවි ආයුධ තිබේ. මීට අමතරව ඇතැම් නිධන් තුළ ඇත්තේ සම්පූර්ණයෙන්ම දිරාගිය පුස්කොළ පොත් ය. මේ පුස්කොළ පොත් එළියට ගන්නා විට ඒවායේ කුඩු හැලෙන්නට පටන් ගනී. සිංහල රජකාලයේ තිබූ කිසිදු මැණික් ගලක් ක්‍රමවත් ලෙස කපා තිබුණේ නැත. එයට හේතුව මැණික් කැපීමේ තාක්‍ෂණයක් හෝ කර්මාන්තයක් එකල නොතිබීම ය. මේ නිසා සිංහල රජ කාලයේදී කපන ලද මැණික් ගල් බොහොමයක් පිටතින් ඩැමේජ් වී ඇතුළතින් පුපුරා ගොස් තිබේ. එසේම මෙයට වසර දහස් ගණනකට පෙර නිධන් තැන්පත් කළ යුගයේදී මේ රටේ තිබුණේ අන්තිම බාල රත්තරන් ය. ඒවා කැරට් 6 හෝ කැරට් 8 වැනි ප්‍රමිතිවලින් යුතු බාල රත්තරන් ය. කැරට් 22 ට හෝ කැරට් 24 ට රත්තරන් පිරිපහදු කිරීමේ තාක්‍ෂණයක් එකල තිබුණේ නැත. මෙවැනි කැරට් 6, 8 රත්තරන් කිලෝවක් විකිණුවත් රුපියල් ලක්‍ෂයක් ලබා ගැනීමට නොහැක. එබැවින් නිධන් හාරන්නන් ජනප්‍රවාදවල තිබෙන ලණු කා මේ රටට කරන්නේ ලොකු හානියකි. නිධන් හෑරීමෙන් පුරාවස්තු විනාශයට පත්වන අතර එසේ වැනසෙන්නේ අපගේ සංස්කෘතික උරුමය බව අප වටහා ගත යුතුය.

නිධන් හෑරීම සම්බන්ධයෙන් මෙකල නම් දැරූ උදවිය වන්නේ දේශපාලනඥයන් ය. විවිධ හොර කපුවන්ගේ හා මන්තරකාරයන්ගේ ගැටවලට හසුවී නිධන් හෑරීමට ගොස් පුරාවස්තුවත්, හොඳ නමත් යන දෙකම ඔවුහු විනාශකර ගනිති. වළගම්බා රජුගේ කඩුව මේ වන විට ඉපැරැණි පුරාවස්තුවක් පමණි. ලෝකඩ බරට ගත්තොත් මෙය රුපියල් 10 ක් වත් වටින්නේ නැත. එහෙත් සංස්කෘතිකමය වශයෙන් ගත්තොත් එහි වටිනාකම අමිලය. අප මේ බව වටහා නොගන්නා තරමට රට දැය ප්‍රපාතයේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment