රාජගිරියේ චිකාගෝ ගේමක්….

414



 – පොලිස් සැරයන් බොනට්ටුවේ සිනමා රූගත කිරීමක් යැයි ජනතාව සිතලා

–  මත්දව්‍ය ජාවාරමක් අල්ලන්න ගිය පොලිස් කණ්ඩායමක් මුහුණ දුන් ත‍්‍රාසජනක අත්දැකීමක්


 ‘‘සර් රාජගිරිය ප‍්‍රදේශයේ කුඩු ඞීල් කරන දෙන්නෙක් ඉන්නවා.උන් තමයි මේ දවස්වල කූඩු බෙදන්නෙ මේ ඒරියා එකට. කාටවත් හොයාගන්න බැරි විදිහට වැඬේ කරනවා. කවුරුත් සැක හිතන්නෙත් නැහැ උන් එහෙම කරනව කියලා.”

රාජගිරියේ චිකාගෝ ගේමක්....

”සර් හොඳ ඔත්තුවක් දෙන්නම්. රාජගිරිය ඔබේසේකරපුර දී හෙට උන් කුඩු පාර්සල් වගයක් හුවමාරු කරගන්නවා. දන්න විදිහට කාර් එකකින් සහ ත‍්‍රිරෝද රථයකින් තමයි එන්නේ. පුළුවන්නම් ගිහිල්ල අල්ලගන්න.”

 නුගේගොඩ කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ තිබෙන දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට එවැනි තොරතුරක් ලැබුණි. ලද තොරතුරට අනුව එම නිලධාරීහු ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. එහිදී ඔවුන්ට අනාවරණය කර ගැනීමට හැකි වූයේ, ලද තොරතුර සත්‍ය එකක් බවයි. ඒ අනුව එම නිලධාරීහු ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලූහ.

 පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව එලෙස සොයා බලන අතරතුර මිරිහාන උඩහමුල්ල ප‍්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මෙලෙස ඇමතුමක් ලැබුණි.

රාජගිරියේ චිකාගෝ ගේමක්....


”හෙට දවල් දෙකට පමණ ඔයා රාජගිරිය ඔබේසේකරපුර හන්දියට යන්න. ගිහින් පාරෙ වම් පැත්තට වෙන්න කාරෙක නවත්තගෙන ඉන්න. නිල් පාට ත‍්‍රීවිල් එකකින් බඩු අරන් එයි. පාර්සල් දෙකක් තියෙනවා. පරිස්සමෙන් අරන් යන්න.”

 දිනය පසුගිය විසි වැනිදා ය. පණිවුඩය ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අළු පැහැති තම විට්ස් වර්ගයේ මෝටර් රථයෙන් ඔබේසේකරපුරය වෙත පැමිණියේය. එලෙස පැමිණි ඔහු නියමිත ස්ථානයේ තම මෝටර් රථය නතර කරගෙන සිටියේය.

 අනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නිල් පැහැති ත‍්‍රිරෝද රථයෙන් ඉතා සූක්ෂ්ම ලෙස සැඟවූ හෙරොයින් පාර්සල් දෙකක් සඟවාගෙන එම ස්ථානයට ළඟා වෙමින් සිටියේය. ඒ සමඟම නුගේගොඩ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් සිවුදෙනකු ද සිවිල් ඇඳුමෙන් සැරසී යතුරුපැදි දෙකකින් එම ස්ථානයට ළඟා වෙමින් සිටියහ.

 විනාඩි කිහිපයකට පමණ පසු ඔබේසේකරපුරයට පැමිණි නිල් පැහැති ති‍්‍රරෝද රථය අදාළ මෝටර් රථය ඉදිරියේ නවතා ඒහි සිටි පුද්ගලයා පාර්සල් දෙකක් අතැතිව මෝටර් රථය අසලට පැමිණියේය.

 එලෙස පැමිණි ඔහු ක්ෂණයකින් මෝටර් රථයේ සිටි පුද්ගලයාට එම හෙරොයින් පාර්සල් දෙක ලබාදී ආපසු ති‍්‍රරෝද රථය දෙසට පැමිණෙමින් සිටියේය. ඒ සමඟම පැමිණි පොලිස් නිලධාරීහු ත‍්‍රිරෝද රථ රියැදුරා අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගන්නවාත් සමගම තවත් නිලධාරියෙක් ඔහුගේ ත‍්‍රිරෝද රථයේ යතුර ද ලබා ගත්තේය.

 ඉන්පසු එම නිලධාරීහු මෝටර් රථය දෙසට පැමිණියේ එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහාය. එලෙස පොලිස් නිලධාරීන් තමා දෙසට පැමිණෙනවාත් සම`ගම එම පුද්ගලයා මෝටර් රථය පණගැන්නුවේය. ඒ ක්ෂණිකව එම ස්ථානයෙන් පලා යෑම සඳහාය. එය දුටු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම මෝටර් රථයේ දොරවල් විවෘත කිරීමට සැරසුණේය. එහෙත් දොරවල් අගුළු දා තිබූ නිසා ඔවුන්ට එය විවෘත කිරීමට නොහැකි විය.

 ඒ සමගම පොලිස් අණ නොතකා එම පුද්ගලයා මෝටර් රථය ඉදිරියට ධාවනය කිරීමට සූදානම් විය. මෙය දුටු පොලිස් සැරයන් වසන්ත එක්වරම මෝටර් රථයේ ඉදිරිපසට පැන්නේය. ඒ මෝටර් රථය නවතා ගැනීම සඳහාය. එහෙත් ඔහුගේ උත්සාහය අසාර්ථක විය. එහි සිටි පුද්ගලයා නොනවත්වාම මෝටර් රථය ධාවනය කිරීමට උත්සාහ කළේය.

 දක්ෂ නිලධාරියකු වූ පොලිස් සැරයන් වසන්ත උත්සාහය අත්හැරියේ නැත. ඔහුට වුවමනා වූයේ කෙලෙස හෝ සැකකරු අත්අඩංගුවට

 ගැනිමටයි. එම නිසා ඔහු මෝටර් රථයේ බොනට් එක උඩට පැන්නේය. එහෙත් සැකකරු මෝටර් රථය නතර නොකළේය. බොනට් එක මත සිටින පොලිස් නිලධාරියා ද සමගින් ඔහු මෝටර් රථය නොනවත්වාම ඉදිරියට ධාවනය කළේය.

 මෙම සිද්ධිය දෙස බලාගෙන සිටි අනෙක් පොලිස් නිලධාරීන්ට අත්අඩංගුවට ගත් ත‍්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයාව ද අමතක විය. ඔවුන් බැලූවේ මෝටර් රථයේ ඉදිරිපස එලෙස එල්ලූන තම සහෝදර නිලධාරියා ගැනයි. එම අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ත‍්‍රිරෝද රථයෙන් පැමිණි පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් පැන යතුර නොමැතිව ති‍්‍රරෝද රථය පණගන්වා එම ස්ථානයෙන් පැන ගියේය.

 මෝටර් රථය ඉදිරිපස සිටි පොලිස් සැරයන්වරයාගේ ජීවිතය පවා නොතැකූ එම සැකකරු අධික වේගයෙන් මෝටර් රථය ධාවනය කළේය. සැකකරු උත්සහ කළේ කෙලෙස හෝ පොලිස් නිලධාරියා බිමට දැමීමටයි. ඒ සඳහා ඔහු විටින් විට මෝටර් රථයේ තිරිංග තද කරමින්, වෙට්ටු දමමින් සහ වේගය අඩු වැඩි කරමින් ධාවනය කළේය .

 කිලෝමීටරයකට ආසන්න දුරක් පොලිස් නිලධාරියා එලෙස ගියේය. ඒ අතර පොලිස් නිලධාරීයා සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමිනි. ඒ සමගම ඔහු අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ තිරිංග එක්වරම තද කළේය. එලෙස තිරිංග තද කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියා උඩින් විසිවී ගොස් බිමට ඇද වැටුණි. එලෙස පොලිස් නිලධාරියා අදවැටුණු පසු සැකකරු ඒ දෙසවත් නොබලා තවත් වේගයෙන් තම මෝටර් රථය ධාවනය කළේය.

 මෝටර් රථයෙන් මාර්ගයට ඇදවැටුණු පොලිස් නිලධාරියාගේ හිසට සහ ශරීරයේ තවත් ස්ථාන කිහිපයකට බරපතළ තුවාල සිදුවී තිබුණි. ඒ සමගම තුවාල ලත් එම සැරයන්වරයා නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කිරීමට එම ස්ථානයේ සිටි මිනිස්සු කටයුතු කළහ.

 පොලිස් සැරයන්වරයා එලෙස මෝටර් රථයේ ඉදිරිපස යන අවස්ථාවේ මාර්ගයේ සිටි මිනිස්සු ඉතා පුදුමයෙන් එදෙස බලා සිටියහ. ඔවුන්ට, සිදුවන්නේ කුමක්ද කියා සිතාගැනීමටවත් නොහැකි විය. සමහරු සිතා සිටියේ එය චිත‍්‍රපටයක ජවනිකාවක් බවයි.

 අවසානයේ සැකකරුවෝ දෙදෙනාම එලෙස පොලිස් අත්අඩංගුවෙන් පලා ගියහ. ඒ සමඟම මාර්ගයේ තිබූ සීසීටීවී කැමරාවල මෙම සිද්ධිය මැනවින් පටිගත වී තිබුණි. පොලිස් නිලධාරීන් එ හරහා පරීක්ෂණ සිදුකර මෝටර් රථයේ ලියාපදිංචි අංකය සොයා ගත්තේය.

 මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ එහි හිමිකරුගේ ලිපිනය සොයා ගත්තේය. ඒ සමඟම පොලිස් නිලධාරීන් පිරිසක් නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප‍්‍රදේශයේ එම ලිපිනය සඳහන් නිවස වෙත ගියහ.

 ලිපිනයේ සඳහන් සැකකරුගේ ඉඩම වෙත ගිය පොලිස් නිලධාරීන් එහි සාදාගෙන යන තෙමහල් නිවස පරීක්ෂා කළේය. සැකකරු එහි නොසිටියේය. ඒ අනුව එම නිවසේ සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් එම පොලිස් නිලධාරීහු ප‍්‍රශ්න කළහ. එහිදී එම කාන්තාවන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට මෙලෙස පවසා තිබුණි.

 ‘‘මගේ සහෝදරයා තමයි මේ නිවස හදන්නේ. ඒගොල්ලො තමයි මෙහෙ පදිංචි වෙලා ඉන්නේ.

 පසුගිය 19 දා ඉඳන් මගේ සහෝදරයයි එයාගෙ නෝනා ගැනයි කිසිම ආරංචියක් නැහැ. දුරකථන පවා වැඩ කරන්නේ නැහැ . ඒක නිසා ඒගොල්ලො කොහේ ඉන්නවද මොනව කරනවද කියල අපි දන්නේ නැහැ.”

 යළි සැකකරුවන් නොමැතිව හිස් අතින් පැමිණි පොලිස් නිලධාරීහු එම කාන්තාවන්ගේ ප‍්‍රකාශ අනුව ද පරීක්ෂණ කිරීමට කටයුතු කළහ. එමෙන්ම සමාජයේ වඩාත් කතාබහට ලක්වූ මෙම සිද්ධියේ පරීක්ෂණවල ප‍්‍රතිඵල පිළිබඳව විවිධ මාධ්‍ය ආයතන මෙන්ම ජනතාවද නොඉවසිල්ලෙන් ඇසගසාගෙන සිටියහ.

 පොලිසිය නොනවත්වාම පරීක්ෂණ පැවැත්වූහ. ඒ අතර තලංගම ප‍්‍රදේශයේ නිවසක නවතා තිබූ සැකකරුගේ මෝටර් රථය සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. ඒ වන විටත් සැකකරු එම මෝටර් රථයේ අංක තහඩු ගලවා තිබුණි.

 එලෙස සොයාගත් මෝටර් රථය පොලිස් නිල සුනඛයකු දමා සෝදිසි කළේය. එම සෝදිසි කිරීමේදී මෝටර් රථයේ ඉදිරිපස අසුනේ ස`ගවා තිබූ හෙරොයින් මිලි ග‍්‍රෑම් හතකට ආසන්න ප‍්‍රමාණයක් එම පොලිස් සුනඛයා සොයාගත්තේය. එයට අමතරව මෝටර් රථය තුළ තිබී විවිධ පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු ද සොයා ගත්තේය.

 මෝටර් රථය නවතා තිබූ නිවසේ සිටි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයකු ද අත්අඩංගුවට ගත්තේය. ඒ වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහාය.

 පොලිස් නිලධාරියාටත් තුවාල සිදුකර මෙම ලිපිය ලියන මොහොත වනවිටත් අත්අඩංගුවට නොගෙන තිබූ ප‍්‍රධාන සැකකරු මීට පෙර අවස්ථාවකදී ගිනි අවියක් සමග පොලිසියට හසුවී තිබුණි. එයට අමතරව ඔහු මත්පෙති ජාවාරමක් ද සිදුකරන බව සොයාගෙන තිබිණි.

 තම ජීවිතයත් පරදුවට තබා සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එලෙස මෝටර් රථයේ ඉදිරිපස බොනට් එක මත කිලෝමීටරයකට ආසන්න ප‍්‍රමාණයක් ගිය පොලිස් සැරයන් වසන්ත ඉතා දක්ෂ නිලධාරියෙක් බව සැලකේ. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීද මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබුණි.

 * ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment