රාජගිරිය කුඩු වැඩේ සී.සී.ඩි.යට

287

රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් නිලධාරියකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී අනතුරට ලක් කර පලා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ අනුව පෙරේදා (22දා) තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙන්ම මෝටර් රථය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන ලෙස තලංගම පොලිසිය වෙත උපදෙස් ලබා දුන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ඉකුත් 20 වැනිදා නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශ නිලධාරීන් වෙනත් වැටලීමක් සඳහා යමින් සිටියදී රාජගිරිය ඔබේසේකරපුර ප‍්‍රදේශයේදී ත‍්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය පාර්සල් දෙකක් සුඛෝපභෝගී මෝටර් රථයක් වෙත ලබාදෙන අයුරු නෙත ගැටීමත් සමගම පොලිස් නිලධාරීන් එම ස්ථානය වෙත ගොස් ති‍්‍රරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන, ති‍්‍රරෝද රථයේ යතුර ද භාරයට ගෙන අනතුරුව මෝටර් රථයේ සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒ අසලට යෑමේදී එකවරම මෝටර් රථය පණගන්වා එහි සිටි පිරිස් එම ස්ථානයෙන් පලා ගියහ.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී තලංගම පොලිසියට ලද තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිසට නවාතැන් පහසුකම් සපයාදීම, මෝටර් රථය සඟවා තැබීමට උදව් උපකාර කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ එකම පවුලේ සහෝදරයකු, සහෝදරියක ඇතුළු තිදෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පලාගිය මෝටර් රථය ද සමග පෙරේදා (22දා) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැමිණ මෝටර් රථයේ මතුපිට මෙන්ම අභ්‍යන්තරයේ අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් සටහන් වී ඇද්දැයි පරීක්ෂණ පැවැත් වූහ.

මීට අමතරව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ නිල සුනඛ අංශයේ ලීනා සුනඛයා යොදවා මෝටර් රථයේ මත්ද්‍රව්‍ය තිබේ දැයි හා මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ඇත්දැයි සොයා පරීක්ෂාව පැවැත්විණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජේ. නන්දන, සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පරීක්ෂණ පැවැත්වෙයි.

කැස්බෑව – ජයසිංහ සහ මහරගම – එස්. ඞී. අබේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment