රාජපක්‍ෂලා ඉන්න සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට අපි නැහැ – සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර

180

ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විශ්වාසභංගයේ කටයුතු දියත් කරනවා

ජනමතය තේරුම් ගෙන ආණ්ඩුවට යන්න කියලා අපි කියනවා

හොඳම දේ තමයි ඡන්දයකින් බලය මාරුවීම

සමගි ජනබලවේගය මහනුවරින් ආරම්භ කළ සමගි ජන පාගමන අද කොළඹට ළඟාවීමට නියමිතය. ඒ පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පළකළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – සමගි ජනබලවේගය මහනුවරින් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය අද දින (01 දා) කොළඹට ළඟාවෙනවා.ඉන් අනතුරුව සමගි ජනබලවේගය ලෙස ගැනීමට අපේක්‍ෂා කරන පියවර කුමක්ද?

පිළිතුර – පළමුවැනිදායින් පසුව පාර්ලිමේන්තු සතිය ආරම්භ වෙනවා. සමගි ජන පා ගමනින් ප්‍රකාශ වන්නේ ජනතාව තුළ මේ වන විට තිබෙන පීඩනය සහ ජනතා අරගලය තමයි. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් පසුව අපි විශ්වාස භංගයේ කටයුතු දියත් කරනවා. එතකොට පුළුවන් ආණ්ඩුවට 113ක් තිබෙනවාද නැද්ද කියන එක බලාගන්න. පාර්ලිමේන්තුව තුළ අපි විසින් ඉටු කළ යුතු යුතුකම ඉෂ්ට කරනවා. ජනමතය තේරුම් ගෙන යන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. එසේ නොමැති වුවහොත් පාර්ලිමේන්තුවේ 113 පෙන්වන්න බැරිව අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවට ගෙදර යන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය – පක්‍ෂ 11 කණ්ඩායම විසින් පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස පත්කර පිහිටුවන තාවකාලික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළා. ඇයි එම යෝජනාවට සමගි ජනබලවේගය විරුද්ධ?

පිළිතුර – මෙහෙමයි විවිධ අය විවිධ සැලසුම් ඉදිරිපත් කරනවා. සමහරු සැලසුම් ඉදිරිපත් කරනවා මහින්ද රැකගෙන ගෝඨාභය ජනාධිපතිතුමා ඉවත් කිරීමට. තවත් සමහරු සැලසුම් ඉදිරිපත් කරනවා ගෝඨාභය රැකගෙන මහින්ද එළවන්න. අපිට ඒ දෙන්නම ඕන නැහැ. අපි කටයුතු කරන්නේ ඒ දෙන්නම එළවලා හොරුන් රකින මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා තමයි. එසේ නොමැතිව ඔළුගෙඩි වෙනස් කිරීම සඳහා අපගේ සහයෝගය නැහැ.

ප්‍රශ්නය – පක්‍ෂ 11 කණ්ඩායමේ සැලසුම වී තිබෙන්නේ පොහොට්ටුවේ අගමැතිවරයකුගෙන් යුතු ආණ්ඩුවකින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 7ක් පිළිබඳ ඇති වී තිබෙන දුබලත්වය නැතිකර කෙටි කාලයක් තුළ මහ මැතිවරණයක් පවත්වා, ඉන් අනතුරුව ඔවුන්ගේ ආණ්ඩුවක් පිහිටුවීම.සමගි ජනබලවේගය විරුද්ධ එම සැලසුමට ද?

පිළිතුර – ජනාධිපතිවරණය, මහමැතිවරණය ඇතුළු සියලු පවුවලට කරගහල, දැන් බැහැනේ එම පව් සුද්ධකර ගන්න. ඔළුගෙඩි මාරු කරන, කුට්ටම ආයෙත් අනන වැඩවලට අපි කැමති නැහැ කියලා තමයි කියන්න තිබෙන්නේ.

ප්‍රශ්නය – රට තුළ නොසන්සුන්තාවයක් ඇති වූයේ ඉන්ධන, විදුලිය යන බලශක්තීන් හිඟවීම නිසා. නමුත් අද වන විට බලශක්තිය මුල්කරගෙන ඇති වූ අර්බුදය දේශපාලන බල අරගලයක් බවට පත් වී තිබෙන බව ප්‍රකාශ කළහොත් ඔබ මොකද කියන්නේ.

පිළිතුර – අපි මුල සිටම කිව්වා ගෝඨාභයට බෑ කියලා. ඒ වගේම ගෝඨාභය අසමත් බවත් අපි කිව්වා. ඉන්ධන, විදුලිය නොමැතිවීම නිසා අද වන විට අප විසින් පෙන්වාදුන් කාරණය තමයි යථාර්ථයක් බවට පත්වෙලා තිබෙන්නේ.

එම නිසා දැන් ඇති වී තිබෙන අර්බුදයට නිසි පිළිතුරක් ලබා දිය යුතුයි. මෙම ප්‍රශ්නය විසඳීමට නම් රාජපක්‍ෂලා සියලුදෙනා ඉවත් විය යුතුයි. එතනින් මෙහා අපිට නම් කිසිම විසඳුමක් පේන්නේ නැහැ.

ප්‍රශ්නය – මේ වන විට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහාත් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එම යෝජනාව පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නම් පළමුවෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ආණ්ඩුව ඉවත් විය යුතුයි. දෙවන කාරණය තමයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි. එසේ නොමැති නම් අඩුම වශයෙන් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් විය යුතුයි. එම කටයුතු සිද්ධ වුවහොත් ඉන් අනතුරුව නම් ඒ පිළිබඳව කතාකරන්න හරි පුළුවන්. එසේ නොමැතිව රාජපක්‍ෂලා තියාගෙන පිහිටුවන සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට අපි නම් නැහැ.

ප්‍රශ්නය – සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවුවහොත් ඒ සඳහා සමගි ජනබලවේගය සහභාගි වෙනවාද?

පිළිතුර – සර්ව පාක්‍ෂික සමුළු තබා වෙන මොනවා කළත්, රාජපක්‍ෂලා සමග ආණ්ඩු කරන්න අපේ සූදානමක් නැහැ.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය රට තුළ පවතින තත්ත්වය විප්ලවකාරී තත්ත්වයක් දක්වා ගෙන ගොස් කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටිනවා.

එම පක්‍ෂවල අරමුණ සහ ක්‍රියාමාර්ග ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – විවිධ පුද්ගලයන්ට විවිධ සංකල්ප තිබෙන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළවේ පැළ කරන්න පුළුවන් ඒවා නෙවෙයි.

අද වන විට ඇති වී තිබෙන අර්බුදයට විසඳුම් තිබෙන්නේ අපි ළඟ. අර්බුදය විසඳන්න සැලසුමක් තිබෙනවා. එම සැලසුම ඉදිරිපත් කිරීමට පුළුවන් වන්නේ රාජපක්‍ෂලාගෙන් තොර ආණ්ඩුවක් යටතේ තමයි. එසේ නොමැතිව වෙන වෙන දේවල් කතාකරලා වැඩක් නැහැ.

ප්‍රශ්නය – අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළා අගමැති ධුරයෙන් ඉවත් නොවන බව. ඒ වගේම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ප්‍රකාශ කර තිබෙනවා. ඇඳුම් පුටු මාරු කරගන්නා දේශපාලනයකට සූදානම් නොමැති බව.

එම ස්ථාවරයන් තුළ පවතින ආණ්ඩුව වෙනස් නොවීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්‍ෂ තමන්ගේ තනතුරු ගැන තීරණයක් ගන්නවා නම් අපි සූදානම් මේ රටේ ප්‍රශ්න විසඳන්න. එසේ නොමැතිව ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා තියාගෙන කටයුතු කරන්න අපි සූදානම් නැහැ. යන්න කියද්දී යන්න බැරි අය සමඟ ආණ්ඩු කරන්න අපි සූදානම් නැහැ.

ප්‍රශ්නය – සමගි ජනබලවේගයේ කොන්දේසි යටතේ ආණ්ඩු වෙනසක් සිදුවිය හැක්කේ කෙසේද? මැතිවරණයක් හැර ආණ්ඩුව වෙනස් කිරීමට වෙනත් විකල්පයක් නැද්ද?

පිළිතුර – හොඳම දේ තමයි ඡන්දයකින් බලය මාරුවීම. නමුත් මේ අවස්ථාවේදී ඡන්දයකට යන්න පුළුවන් වාතාවරණයක් තිබෙනවාද යන කාරණය කල්පනා කළ යුතුයිනේ. ගෝඨාභය රාජපක්‍ෂ ඉල්ලා අස්වෙනවා නම් ඉන් අනතුරුව මේ රටේ කටයුතු කරන්න අපි සූදානම්. රටට ආදරයක් තිබේ නම් දැන් ගෝඨාභය රාජපක්‍ෂට තිබෙන්නේ ඉල්ලා අස්වෙන්න. නමුත් ඉල්ලා අස්නොවෙන්නේ බලලෝභීත්වය සහ තමන්ගේ හොරකම් ටික වහගන්න අවශ්‍ය නිසා තමයි.

ප්‍රශ්නය – ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ඉල්ලා අස්වුවහොත් ඉන් අනතුරුව සමගි ජනබලවේගය කටයුතු කරන්නේ කෙසේද?

පිළිතුර – ඔවුන් ඉල්ලා අස්වෙනවා නම් සියලුදෙනා සමඟ එක්වෙලා මේ රට ගොඩගැනීමේ වැඩපිළිවෙළකට අපි සූදානම්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා

● සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment