රාජපක්‍ෂවරුන්ට යන්න කියන කොට මහින්ද විතරක් ඉන්න හදන්නේ ඇයි?

242

පක්‍ෂ 11 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

225 ම ගෙදර යන්න ඕනි කියන එක සටන් පාඨයක් පමණයි

සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය වී තිබෙන්නේ හෙට උදේ ඡන්දයක් තියලා බලයට එන්න

මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ධුරයට යෝජනා කිරීම දැන් කතාකරන්න පුළුවන් දෙයක් නොවෙයි නේ

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන පක්‍ෂ 11 කණ්ඩායමේ යෝජනාව වී තිබෙන්නේ පවතින වත්මන් අර්බුදයට විසඳුම ලෙස සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය. ඒ සම්බන්ධයෙන් පක්‍ෂ 11 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප්‍රශ්නය – සර්ව පාෂික ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්‍ෂ 11 කණ්ඩායම ජනාධිපතිතුමාගෙන් වෙනම අවස්ථාවක් ඉල්ලා සිටියේ ඇයි?

පිළිතුර – එම යෝජනාවලිය පළමුවෙන්ම ඉදිරිපත් කළේ අපි. කරුණුද 11ක් සහිතව අපි ජනාධිපතිතුමා සමඟ පළමු හමුවේදී සාකච්ඡා කළා. එහිදී සියලු පක්‍ෂ එකතු කරලා ජාතික සභාවක් පිහිටුවන්නේ කෙසේද? අගමැතිවරයෙකු පත් කරන්නේ කෙසේද කැබිනට් මණ්ඩලය පත් කරන්නේ කෙසේද, 21 වන සංශෝධනය ගෙනත් ජනාධිපතිගේ බලය සීමා කරන්නේ කෙසේද යන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කළා. එම සාකච්ඡාව පැවතියේ පසුගිය 10 වනදා

ප්‍රශ්නය – අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බව. ඒ වගේම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා ඇඳුම් – පුටු මාරු කර ගන්නා දේශපාලනයකට තමන් අකමැති බව එම පසුබිම තුළ සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ කෙසේද?

පිළිතුර – එම දෙපාර්ශ්වයම පවතින දේශපාලන යථාර්ථය පිළිබඳව අවබෝධයකින් තොරව තමන්ගේ දේශපාලන බලය ආරක්‍ෂා කර ගැනීම සඳහා ඔය කරුණු ඉදිරිපත් කරනවා. රාජපක්‍ෂවරුන්ට ගෙදර යන්න කියලා කියද්දී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ රැඳී ඉන්න හදනවා. දෙවනුව මහානායක හිමිවරුන්, කාදිනල්තුමා, විද්වතුන්, දේශපාලන පක්ෂ යන සියලු පාර්ශ්වයන් මතයක් දරනවා සියලු පක්‍ෂ එකතු කරලා වැඩ පිළිවෙළක් හදන්න කියලා. එම පාර්ශ්වයන් කියන්නෙ සියලු පක්‍ෂ එකතු කරලා ආණ්ඩුවක් හදලා අත්‍යවශ්‍ය කටයුතු කරලා ඉන්පසුව ඡන්දයකට යන්න කියන එක තමයි කියන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය වී තිබෙන්නේ හෙට උදේ ඡන්දයක් තියලා බලයට එන්න.

මේ අවස්ථාවේදී මැතිවරණයක් පවත්වන්න බැහැ කියලා මැතිවරණ කොමිසමත් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම මේ අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් නැහැ. ඔවුන් යෝජනා කරන්නේ අතේ සතේ නැතිව ඉන්න කොට සූදු කෙළීම වගේ යෝජනාවක්. මේ අවස්ථාවේ දී සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුත්තේ තමන්ගේ බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා නොවෙයි. එම නිසා අපිට කියන්න තිබෙන්නේ යථාර්ථය තේරුම් ගෙන කටයුතු කරන්න කියන එක තමයි. එසේ කටයුතු නොකළ හොත් රටම විනාශ වේවි.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළා ජනතාව රාජපක්‍ෂලාට යන්න කියන බව. නමුත් උද්ඝෝෂණවල නිරත වන අය පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම යන්න කියනවා නේද?

ඇයි ඔබ ඒ පිළිබඳව කතා නොකරන්නේ,

පිළිතුර – ඔව් 2019 දීත් කිව්වානේ 225ටම යන්න කියලා. එහෙම කියලා අලුත් 225ක් ගෙනවා. ඒ අය ගෙනල්ලා ටික කලක් යන කොට ඒ අයටත් යන්න කියනවා. ඒ 225 ගෙනාවෙත් ඔය කෑගහන අයම තමයි. ඒ නිසා 225ට යන්න කීම තුළම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එය නිකන් සටන් පාඨයක් පමණයි. ඕන කෙනෙකුට සටන් පාඨ කියන්න පුළුවන්. යථාර්ථයට මුහුණ දීලා ප්‍රශ්න විසඳීම තමයි කළ යුත්තේ.

ප්‍රශ්නය – පක්‍ෂ 11 සැලසුම වී තිබෙන්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු අගමැති ධුරයට පත්කර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 7ක් සම්බන්ධයෙන් තිබෙන හ`ිගය දුරු කර, ඉන් අනතුරුව මහමැතිවරණයකට ගිහින් ආණ්ඩු බලය ලබා ගැනීම.

පක්‍ෂ 11 කණ්ඩායමට දේශපාලන බලය ලබාගැනීම සඳහා සකස් කර ඇති සැලසුමකට අනෙකුත් පක්‍ෂ අකමැතිවීම පුදුමයක් නොවෙයි නේද?

පිළිතුර – රට ස්ථාවර කර ගැනීමට නොහැකි වුවහොත් කාටවත් ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වන්නේ නැහැ. අපිට තිබෙන්නේ ජයග්‍රහණය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපි කටයුතු කරන්නේ රටට ජයග්‍රහණයක් අරන් දෙන්න.

මේ අවස්ථාවේදී සර්ව පාර්ක්‍ෂික ආණ්ඩුවක් හදනවා කියන්නේ සෑම පක්‍ෂයකටම වගකීමක් පැවරෙනවා පාලන බලය පිළිබඳ. රට විනාශ වෙලා තිබෙන අවස්ථාවක අපට තවදුරටත් පන්දු කෙළින්න, සූදු කෙළින්න අවස්ථාවක් නැහැ. අපි කටයුතු කරන්නේ පක්‍ෂ 11 බලය ගන්න නෙමෙයි. සර්ව පාක්‍ෂික ආණ්ඩුවෙ අගමැති ධුරයට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු පත් කරනවා කියලා එකතුත් නැහැ. අගමැතිවරයා කවුද කියන එක තීරණය කරන්නේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ ජාතික සභාව විසින්. අපි කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ ජාතික සභාව නියෝජනය කළ යුතුයි කියන එක තමයි.

අපි සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ රට ස්ථාවර කිරීමට මිස අපේ දේශපාලන බලය ගොඩනඟා ගැනීමට නොවෙයි.

ප්‍රශ්නය – ජාතික සභාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම අගමැති ධුරය සඳහා යෝජනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන්නේ නැද්ද?

පිළිතුර – ඕව දැන් කතාකරන්න පුළුවන් දෙවල් නොවෙයි නේ. රැවුල පත්තුවෙලා ඉන්න වෙලාවේ සුරුට්ටු පත්තු කරන්න කවුරුන් කතා කරන්නේ නැහැනේ. ඒක කළ යුත්තේ ජාතික සභාව මගින්. අපිට අරයද මේයාද කියලා ප්‍රශ්නයක් නැහැ. අපි කල්පනා කරන්නේ රට බෙරගන්නේ කොහොමද කියලා.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි සමාජවාදී පක්‍ෂය යන දේශපාලන පක්‍ෂ මෙම අවස්ථාවේදී රටේ පවතින තත්ත්වය විප්ලවකාරී තත්ත්වයක් දක්වා වර්ධනය කර මේ රට තුළ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින බව පෙන්නා තිබෙනවා.

ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – මම නම් හිතන්නේ නැහැ මේ රටේ කොමියුනිස්ට් ආණ්ඩු හදන්න පුළුවන් කියලා. ඒ අයගේ යම් යම් මතවාද තිබෙනවා. එම මතවලටත් රට තුළ ඉඩක් තිබිය යුතුයි.

● සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment