රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ගෝඨාගෝගමටත්, මයිනාගෝගමටත් පහරදුන් මැරයන් තවම අල්ලා නෑ – නීතිඥ සුසන්ත දොඩාවත්ත

136

‘රාජපක්‍ෂ ආණ්ඩුව මැරයන් යොදවා  මයිනාගෝගමට හා ගෝඨාගෝගමට කළ පහරදීමට සම්බන්ධ කිසිවෙක් මේ වනතුරු පොලිසිය අත්අඩංගුවට අරන් නැහැ. ඒ මැරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නීතිඥවරුන් හැටියට අපි අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා’ යැයි නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා පැවැසීය.

ඔහු එසේ පැවසුවේ ගාලුමුවදොර අරගල භූමියේ ඊයේ (11 දා) සවස පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී තවදුරටත් කතා කළ නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා මෙසේද කීය.

මේ රාජපක්‍ෂ මැරයන් නිරායුධව සිටි

මයිනාගෝගමේ පිරිසට හා ගෝඨාගෝගමේ පිරිසට පහර දෙන්නේ පොලිසිය බලා සිටියදී. ඒ පහරදෙන සිදුවීම්වල සජීවී දර්ශන පෙළ තියෙනවා. මේක මුළු රටම දැක්කා. ඒ පහරදුන්න මැරයන් වීඩියෝවල පැහැදිලව ඉන්නවා. තාම කව්රුවත් අත්අඩංගුවට අරන් නැහැ. ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු අරලියගහ මන්දිරයේදී කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්න ඕනෑ. නමුත් තාමත් ඔහු අත්අඩංගුවට අරගෙන නැහැ.

ඒ වගේම මේ පහරදීම සිදුවන වෙලාවේ නිරායුධව ඉන්න තරුණයන් දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියනවා මැරයන්ට එන්න දෙන්න එපා කියලා. එතකොට ඔහු කියනවා එහෙම එන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කිව්වට මේ මැර පිරිස කඩාවැදී නිරායුධ පිරිසට පහර දෙනවා. මේ සිද්ධියේදී පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ.

රට තුළ සිදුවන මේ ප්‍රචණ්ඩත්වය සැලසුම් කරන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවට හිතවත් පිරිසක් ද කියලා අපට සැකයක් තියෙනවා. ඒ නිසා

ජනතාවගෙන් ඉල්ලා සිටිනවා බොහොම සාමකාමීව වැඩකටයුතු කරන්න කියල.

රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා-

මේ ගෝඨාගෝගමට මැරයෝ 2000 ක් 3000 ක් කඩාවදිද්දී මේ නිර්පාක්‍ෂික අරගලයේ යෙදුනු පිරිසට පහර දෙද්දී එක ගල් කැටයක් ගන්නේ නැහැ. මේ ප්‍රහාරය එල්ල වෙද්දී අපේ අරගල භූමියේ තරුණ පිරිස ආවේගශීලී වුණා. මා ඇතුළු කලාකරුවන් මේ තරුණ පිරිසම ඒ තත්ත්වයෙන් මුදා ගත්තා. පුළුවන් තරම් අපි උත්සාහ ගත්තේ මේ මැරයන්ගේ පහරදීම් නවත්වා ගන්නයි. මේක ආදරයේ අරගලයක්. ප්‍රචණ්ඩත්වයට අපි ආදරයෙන් ප්‍රතිචාර දක්වමු. ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කරමු.

ගායන ශිල්පී කසුන් කල්හාර ජයවර්ධන මහතා-

අපි මේ ගෝල්ෆේස් එකේ කරන්නේ නිර්පාක්‍ෂික අරගලයක්. මේ රටේ සම්පත් විශාල ප්‍රමාණයක් මේ දේශපාලකයන් විකුණලා ඉවරයි. ඒ නිසා රටේ තියෙන සම්පත් ටික හරි රැකගමු. මේ රටේ මිනිසුන්ගේ ජීවිත හැම දේකටම වඩා වටිනවා. ජීවිත හානි දේපළ හානි කරන්න එපා. මේ අරගලය අපි ආදරණීයව කරන්න පටන් ගත්තු අරගලයක්. පුළුවන් තරම් ආදරය බෙදන්න. ප්‍රචණ්ඩත්වය අතහරින්න.

රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මහත්මිය –

රාජපක්‍ෂ රෙජිමය ක්‍රියාත්මක කරන මැර දේශපාලනය වෙනස් කරන්න ඕන. ඔවුන්ගේ සැඟවුණු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නීතිඥ ශානිකා සිල්වා මහත්මිය-

යම් තරමකට මේ අරගලය දිනාගන්න පුළුවන් වුණේ සාමකාමීව ආදරණීයව මේ අරගලය කරපු නිසයි. අපේ දැන් අරමුණු ගෝඨාභය පුටුවෙන් බස්සන එකයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඡායාරූප – තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment