රාජපක්ෂ බෝම්බය (දිගටම පුපුරයි)

535

කිසිම බෝම්බයක් දෙවරක් නොපුපුරයි. වරක් පිපිරූ සැනින් බෝම්බයක චීනච්චට්ටි කවරයෙන් පවා ප‍්‍රයෝජනයක් නැත්තේ පිපිරුමේ සැරට කැඞී පොඩිවී තැලී යන බැවිනි. පතොරමක් දෙවරක් පත්තු නොවෙයි. වරක් වෙඩි තැබීමෙන් පසු පතොරම හිස් පතොරමක් බවට පත්වෙයි. මෙය අප හඳුන්වන්නේ Spent Force යනුවෙනි. ඉන්පසු හිස් පතොරොම් කවරය ප‍්‍රයෝජනවත් වන්නේ පිත්තල කඩකාරයාට පමණි. ඒ ද පතොරොම් කවරය පිත්තලයෙන් නිම වීයේ නම් පමණි. ලංකාවේ නැවත නැවතත් පුපුරන එකම බෝම්බය මහින්ද රාජපක්ෂ බෝම්බය විය යුතුය. මෙය ජනහිතවාදී බෝම්බයකි. කොතරම් පිපිරුවත් ප‍්‍රතිගාමියාට මිස ප‍්‍රගතිශීලියාට මෙයින් හානියක් නැත. දහස් වතාවක් පිපිරුවත් බෝම්බ කවරය ඩැමේජ් කර නොගන්නා මහින්ද සැබෑ පිපිරුමක පීඩන බලය (Force) සමාජයට මුදාහරියි. සාමාන්‍යයෙන් පරමාණු බෝම්බයක පිපිරුම් බලය මනිනු ලබන්නේ කිලෝ ටොන්වලිනි. ඩයිනමයිට් එකක පිපිරුම් බලය මනින්නේ ගිගාජූල්වලිනි. රාජපක්ෂ බෝම්බයේ පිපිරුම් බලය මැනීමට සුදුසු ඒකකයක් තවමත් පහළ වී නැත. මෙයට අවුරුදු පනස් එකකට පෙර දේශපාලනයට අවතීර්ණ වූ මහින්ද රාජපක්ෂ එදා මෙන්ම අදත් එක විදිහටම පුපුරයි. ඒ බලයේ කිසිදු අඩුවක් නැත. එම පිපිරුම ඩයිනමයිට් පිපිරුමකට වඩා වෙනස් ය.

එම පිපිරුමේ විභවය හටගන්නේ මතවාදී ලෙසය. එසේ නම් රාජපක්ෂ බෝම්බයේ පිපිරුම මැනීමට ඒකකයක් නැත යන අදහස සංශෝධනය කිරීමට සිදුවේ. එම පිපිරුම මැනිය හැක්කේ මෙගා ටොන් හෝ ගිගාජූල්වලින් වෙනුවට මතවාදී ජූල්වලින් යැයි අපි යෝජනා කරමු. යුද්ධය පවතින අවස්ථාවේදී අපට බලකිරීමට මෙරටට පැමිණි යුරෝපා හවුලේ බලගතු සාමාජිකයෝ මැදමුලනට ගෙන ගොස් එම වත්තේ ඇති සුප‍්‍රසිද්ධ නුග ගස යට ඉන්දවා කැපචිනෝ කෝපි හෝ නෙස්කැෆේ කෝපි පොවා කුකීස් කවනු වෙනුවට ඔවුනට කොළ කැඳ පොවා කිතුල් හකුරු කැවීමට මහින්දට හැකි විය. මෙය සමාන වන්නේ ඔටුවාට බත් දීමට ය. ඔටුවා බත් නොකයි. ඌ කන්නේ පිදුරු පමණි. එහෙත් කුසගින්න වැඩි වී කරකියා ගන්නට දෙයක් නැති විට ඔටුවා බතුත් කා පිඟානත් කයි. යුරෝපා සංගමයට කොළ කැඳ පොවා හකුරු කවන අතරේ දී මැදමුලන මහින්ද රාජපක්ෂ ඔවුන්ට කදිම දේශනයක් කළේය. එයින් කියවුණේ ශ‍්‍රී ලංකාව ඒකීය රටක් බවත්, ත‍්‍රස්තවාදයට මෙහි ඉඩක් නැති බවත් රට කැඞීමට ඉඩ නොදෙන බවත් ඒවා කරන්නට ආවොත් මරාගෙන මැරෙන බවත් ය. එය ඉතා භයානක පිපිරුමකි. මේ පිපිරුම නිසා යුරෝපා සංගමයේ හද සන්තානය සම්පූර්ණයෙන්ම ඩැමේජ් විය. මහත් ශෝකයෙන් ද පරාජිත බවෙන් ද ගෙවල් බලා ගිය ඔවුහු අන්තර්ජාතික සාමයෝජක එරික් සෝල්හයිම් සමග එක පතේ කනු වෙනුවට එක පතේ කඳුළු සැලූහ.
 
 මහින්ද රාජපක්ෂ දේශපාලනයට පිවිස පනස් එක් වසරක් සම්පූර්ණ වී ඇත. ඔහු සමග මතවාදී වශයෙන් එකට යුද බිමේ සිටි සටන් සගයකු ලෙස මේ මොහොතේදී ඔහු ගැන යමක් ලිවීම ‘දිවයිනේ’ යුතුකම ය. යුද්ධයේ අවසාන කොටසේදී එතෙක් යුද්ධයට උදව් කළ බලවේග රැසක් යුද්ධය ජයගැනීමට හැකිය යනුවෙන් එතෙක් ඔවුන් තුළ තිබූ මතය පැත්තකට දමා ප‍්‍රභාකරන් පැරද විය නොහැක යන ස්ථාවරයේ එල්ලී ඇඹරෙන්නට පටන් ගත්හ. මෙයින් හැෙඟන්නේ කුමක්ද? ප‍්‍රභාකරන්ට ඊළම ලබාදිය යුතු බවය. ඔහු සමග සාම ගිවිසුම් අත්සන් කළ යුතු බවය. ඊළමේ ජනාධිපති ලෙසට ප‍්‍රභාකරන් පිළිගත යුතු බවය. යාපනයට, කිලිනොච්චියට හෝ ති‍්‍රකුණාමලයට නැත්නම් මඩකලපුවට යන විට වීසා බලපත් ලබාගත යුතු බවය. ඒ අනුව ප‍්‍රගතිශීලී කට්ටිය විසින් තවදුරටත් යුද කිරීම අත්හැර දමන ලද ඒ තීරණාත්මක මොහොතේදී ප‍්‍රභාකරන් පැරද විය යුතු බව කියමින් දිගටම යුද කිරීමේ නිරත වූවෝ වූකලී ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාවත්, මහින්ද රාජපක්ෂත්, ‘දිවයින’ත් පමණි.

මෙයින් බලවත් සේ කිපුණු ප‍්‍රතිගාමී බලවේග අප War Mongers හෙවත් යුද වෙළෙන්දන් ලෙස ප‍්‍රචාරය කරන්නට පටන් ගත්හ. ඒ වනවිට කොටි කැබිතිගොල්ලෑවේ බසයකට බෝම්බ ගසා නිරායුධ සිංහලයන් විශාල ප‍්‍රමාණයක් අමු අමුවේ මරා දමා තිබිණ. ඊළඟට කොටි මාවිල්ආරු සොරොව්ව වසා දැමූහ. මෙයට විරුද්ධව පාඨලී චම්පික රණවක සහ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ එල්ල කළ බලගතු විරෝධය මේ මොහොතේදී අප විසින් ගෞරව ප‍්‍රණාමයෙන් යුතුව සිහිකරනු ලබන්නේ යුතුකම් දන්නා බැවිනි. (රතන හාමුදුරුවන්ගේ ගමන එම වෙලාවේදී ‘දිවයින’ සහ ‘දි අයිලන්ඞ්’ කතුවැකි මගින් පසසන ලදී.) මේ පිරිස දුන් සහයෝගයත් දිවයිනේ මතවාදී Backup එකත් සහිතව විදගෙන ඉස්සරහට ගිය මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා සහ ගෝඨාභය රාජපක්ෂගේ සහය ඇතිව ප‍්‍රභාකරන්ට අමුඩ ගැස්සෙව්වේය. ජෙනරල් කමල් ගුණරත්න ප‍්‍රභාකරන්ගේ මළ මිනියට රෙද්දක් අන්දවන ලෙසට අණ නොදෙන්නට ප‍්‍රභාකරන්ගේ කොටු වැටුණු අමුඩය පමණක් මේ රටේ ජනතාව තුළ හැමදා මතක සිටින්නේය.
 
 යුද ජයග‍්‍රහණයෙන් පසු මේ රටේ මිනිස්සු වැදගත් දේශපාලන තීන්දුවක් ගත්හ. ඒ ඊළඟ ඡන්දයේදී රාජපක්ෂවරුන් පැරදවීමට ය. එය එසේම සිදු විය. ඒ වූකලී කලගුණ සැලකීම පිළිබඳ ඉතිහාසගත තීන්දුවකි. ඒ තීන්දුවෙන් පසුව ද මහින්ද රාජපක්ෂ මතවාදී වශයෙන් දිගටම පුපුරන්නට පටන් ගත්තේය. ඒ බෝම්බය අදත් එසේමය. හෙටත් එසේමය.

advertistmentadvertistment
advertistmentadvertistment