රාජ්‍ය ආයතනවලින් ජනතාවට නිසි ලෙස සේවය ඉටු කරන්න

86

* ජනපති ඊයේ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලයි
 
 රාජ්‍ය යාන්ත‍්‍රණයෙන් ජනතා අපේක්‍ෂා ඉටුකළ යුතුයි
 
 අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමටයි
 
 මධ්‍යම රජය හා පළාත් සභා එකම  රාජ්‍ය ප‍්‍රතිපත්තියක කටයුතු කරන්න


 රාජ්‍ය සේවය ඉතා විශාලයි. ජනතාවගේ සෑම අවශ්‍යතාවයකටම රාජ්‍ය සේවකයකුගේ මැදිහත්වීම සිදු වේ. එම නිසා සියලූම රාජ්‍ය ආයතන වෙතින් නිසි අයුරින් ජනතා සේවය ඉටුවනු දැකීම තම බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

 රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි. අවශ්‍යව ඇත්තේ අධීක්‍ෂණය, උපදෙස් දීම සහ දිරිගැන්වීම මගින් ඔවුන්ගේ සේවය රටට ඵලදායීව ලබා ගැනීමයි. ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ, පළාත් හා දිස්ති‍්‍රක් ලේකම්වරුන් ඇතුළු සියලූම ඉහළ නිලධාරීන් ඒ සඳහා පෞද්ගලිකව මැදිහත්ව නායකත්වය දීම අවශ්‍ය යැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (23 දා) පෙරවරුවේ රාජ්‍ය නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. තමා රාජ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම ගොස් අධීක්‍ෂණය කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද තමන් යටතේ ඇති ආයතන වෙත ගොස් අවශ්‍යතා සපුරාලමින්, සියලූ සේවකයන් දිරිගන්වමින් ඉහළ අධීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.

 අප ඉන්නේ ජනතාව ජීවත් කරවීමටයි. ඊට පරිසරය සැකසිය යුතුයි. එහිදී නිලධාරීන්ගේ යුතුකම, වගකීම සහ මානුෂිකත්වය ද ඉතා වැදගත් බව ජනාධිපතිවරයා පැවසීය. සේවා ඉටු කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් සභාව යටතේ ඇති ආයතන කි‍්‍රයාත්මක විය යුත්තේ එකම රාජ්‍ය ප‍්‍රතිපත්තිය බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණි.

 හරිත කෘෂිකර්මාන්තය රජයේ ප‍්‍රධාන වැඩපිළිවෙළකි. 75% කට වඩා වූ ග‍්‍රාමීය ජනතාවගෙන් 90% ක් කෘෂිකර්මාන්තයේ හෝ ඒ ආශී‍්‍රත ජීවිකාවක නිරත වෙති. කාබනික වගාව අනාගත පරපුරේ යහපත් සෞඛ්‍ය වෙනුවෙනි. ඒ බව ඔවුන් දැනුවත් හා දිරිමත් කර, විශ්වාසය ගොඩනැඟිය යුතුය. නිසි වේලාවට ප‍්‍රමිතියෙන් යුත් අදාළ කාබනික පොහොර බෙදාදීමෙන් සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගත හැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

 වැඩිවන විදුලි අවශ්‍යතාව සපුරාලීමට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් දායක කරගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා වූ කෙටි හා දිගුකාලීන රජයේ ඉලක්ක සපුරා ගැනීමට සහය වන ලෙස ඉල්ලා සිටියේය.

 දේශීය ආර්ථිකය ස්වයංපෝෂිත වැඩපිළිවෙළක් මගින් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 කාබනික පොහොර භාවිතයෙන් පළාත් මට්ටමින් ලැබූ අස්වැන්න පිළිබඳ සතුටු විය හැකි බවත් විධිමත් අයුරින් ගොවීන් දැනුවත් කිරීමෙන් අපේක්‍ෂිත අරමුණු කරා ළඟා විය හැකි බව ආණ්ඩුකාරවරු සඳහන් කළහ.

 හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමේදී මහ කන්නයෙන් ඉගෙන ගත් පාඩම් අධ්‍යයනය කර යල කන්නය සාර්ථක කර ගැනීමට ගෙන ඇති ඉතිරි සැලසුම් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය. දිස්ති‍්‍රක් 25 ට ආවේණිකව යෙදිය යුතු පොහොර හඳුනා ගනිමින් ගොවීන් දැනුවත් කිරීම මේ වනවිට අරඹා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

 සියලූ දිස්ති‍්‍රක්ක ආවරණය කෙරෙන පරිදි පස පරීක්‍ෂා කිරීමට අවශ්‍ය යන්ත‍්‍ර ලබාදී ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.

 අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිදු හිඟයකින් තොරව සැපයීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ගම් මට්ටමින් පවතින අඩුපාඩු විමර්ශනය කර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තොරතුරු ලබා ගැනීමේ යාන්ත‍්‍රණයක් සකස් කර ඇති බව පෙන්වා දෙනු ලැබීය.

 අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ, පළාත් හා දිස්ති‍්‍රක් ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment