රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී පූර්ව අනුමැතිය ගැනීමට කමිටුවක්

125

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේදී හෝ වෙනස් කිරීමේදී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරු කටයුතු කරති. කමිටුවේ ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා පත් කර ඇත.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාමයෝජනා ඉහත කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය කර තිබේ.

පූර්ව එකඟතාවකින් තොරව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට විටින් විට ජනාධිපතිවරයා වෙත කෙරෙන ලිඛිත ඉල්ලීම් සහ ඇතැම් අවිධිමත් පත්කිරීම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කමිටුව පත් කර තිබේ.

මේ පිළිබඳව ජනාධිපති ලේකම්ගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සෘජුව ලිපියක් යොමු කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට පිටපත් යොමු කර තිබේ.

චමින්ද සිල්වා සහ ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment