රාජ්‍ය ආයතන විකිණීම  නතර නොකළොත්  වෘත්තීය සමිති  දැවැන්ත වර්ජනයකට

245

ලංවිම, තෙල් සංස්ථාව, ටෙලිකොම් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් විදෙස් සමාගම්වලට විකිණීමට රජය ගෙනයන වැඩපිළිවෙළ වහාම නතර නොකළහොත් සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කර දැවැන්ත වැඩවර්ජනයකට යෑමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ‘දිවයින’ ට පැවැසීය.

තෙල් සංස්ථාව සහ විදුලිබල මණ්ඩල සේවකයන්ට වැටුප්, දීමනා හෝ අතිකාල ගෙවීම් නිසා මෙම ආයතන පාඩු ලබන බව කියා ජනතාව නොමග යවමින් මේ සියලු රාජ්‍ය ආයතන විදේශ සමාගම්වලට කුණු කොල්ලයට විකුණා දැමීමට පිඹුරුපත් සකසා ඇතැයිද ඒ මහතා කීය.

තෙල් සංස්ථාවේ සේවක සංඛ්‍යාව සහ වැටුප් දීමනා ගෙවීම නිසා මෙරට ඉන්ධන මිල ඉහළ ගියේ නම් ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන මිල අඩුවිය යුතුව තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

විදෙස් සමාගම් සතුව තිබූ තෙල්, ලිහිසි තෙල්, නයිලෝන් සික්ස් වැනි ආයතන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රජයට පවරා ගත් බවත් වත්මන් පාලකයන් හා හිටපු පාලකයන් එක්ව මේ රාජ්‍ය ආයතන සියල්ල යළි විදෙස් සමාගම්වලට විකිණීමට යන බවත් හෙතෙම කීය.

තෙල්, විදුලිය, වරාය, ටෙලිකොම් ආදී ආයතනවල මෙවැනි විශාල සේවක පිරිසක් සිටින්නේ ඒ ඒ ආණ්ඩු යටතේ බුරුතු පිටින් ඒවාට දේශපාලන හෙංචයියන් දැමූ නිසා බවද ආනන්ද පාලිත මහතා පැවැසීය. පාලකයන්ගේ අදූරදර්ශී තීරණ නිසා ලාබ ලබමින් තිබූ රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත්වූ බවත් දැන් පාඩුයි පාඩුයි කියා මේවා විකුණා දැමීමට යන බවත් හෙතෙම කීය.

ඒ අනුව ලංවිම, තෙල්, වරාය, ටෙලිකොම් මෙන්ම අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති ඒකාබද්ධවී ඉදිරි දිනවලදී ජනතාව දැනුම්වත් කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යොමුවීමට තීරණයක් ගෙන ඇතැයිද ඒ මහතා පැවැසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment