රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට අධිකරණය දුන් නියෝගය

1445


රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය විසින් අද අමාත්‍යවරියට කල් ලබාදී ඇත.

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට ප්‍රථම තමාට ආගමන හා විගමන පාලකවරයාගෙන් ලේඛන කිහිපයක් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියේය.

එම ලේඛන ලබාගෙන අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ඩයනා ගමගේ මහත්මියගේ පාර්ශවයට පෙබරවාරි මස 17 තෙක් කල් ලබාදුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment