රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැසී යෑමට ආසන්නයේ: සේවක වැටුප් ගෙවාගන්නත් බැහැ

510

ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළයෑම හා යහපාලන සමයේදී ගත් ක්‍රියාමාර්ග නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක වැටුප් ගෙවා දැමීමට නොහැකි වී දිනෙන් දින කඩාවැටී වසා දමන තැනට පත්ව ඇතැයි එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතා “දිවයින”ට පැවසීය.

රුපියල් 97,000 කට පමණ තිබූ යකඩ ටොන් එකක මිල රුපියල් ලක්‍ෂ පහ, හය දක්වා වැඩිවී ඇතැයි ද, මීට අමතරව ටයිල් ඇතුළු අනෙකුත් සෑම ඉදිකිරීම් අමුද්‍රව්‍යකම මිල ගණන් ඉතිහාසයේ පෙර නොවූ පරිදි ඉහළ ගොස් ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ දැනට සේවය කරන ස්ථීර සේවකයන් 2400 ක් සඳහා මාසික වැටුප ගෙවන්නෙ කොටස් දෙකකට බවද සභාපතිවරයා කීය.

මෙම තත්ත්වය හමුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන නිසා මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර සේවකයන් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ (VRS) ක්‍රමයක් සකසමින් තිබෙන බවත් දැනට ඒ සඳහා අයදුම්පත් යොමු කර සිටින සේවකයන් 1000 කට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 210 (රුපියල් කෝටි 21ක්) සොයා ගැනීමද ගැටලුවක් වී ඇති බවත් කළුපහන මහතා පැවසීය.

දැනට ආයතනයේ සේවයේ නිරත ස්ථීර සේවකයන් 2400ක් සඳහා මසික වැටුප් ගෙවීමට රුපියල් මිලියන 148 ක් අවශ්‍ය වන බවත් මේ වනවිට රාජ්‍ය ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ නතර වී තිබෙන නිසා ඉංජිනේරු සංස්ථා සේවකයන් කොටසකට රාජකාරි නොමැතිව වැටුප් ගෙවීමට සිදුවී ඇති බවත් සභාපතිවරයා පැවසීය.

ඇතැම් ඉදිකිරීම් සඳහා විදේශයෙන් ආනයනය කළ යුතු අමුද්‍රව්‍ය ඇණවුම් කිරීමට ආයතනය හෝ මහා භාණ්ඩාගාරය සතුව ඩොලර් නොමැති බවද රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සභාපතිවරයා කීය.

ලංකා විදුලිබල මණ්ඩලයට, ටෙලිකොම් ආයතනයට අවශ්‍ය කණු ඉදිකිරීම්, දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය සිල්පර ඇතුළු උපකරණ සවිකිරීම් ආදියටද මේ තත්ත්වය අනිසි ලෙස බලපා ඇත.

විශේෂයෙන්ම යහපාලන කාලයේදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ප්‍රධාන ගොඩනැගිල්ල ඇපයට තබා මහජන බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 500ක ණය ගෙවාගත නොහැකිව ඇතැයි ද ඒ මහතා කීය. යහපාලන සමයේ දේශපාලන ව්‍යාපෘති සඳහා ලබාගත් රුපියල් මිලියන 2000ක් ගෙවාගත නොහැකිව එම ණය හා පොලිය රුපියල් මිලියන 3000 දක්වා වැඩි වී ඇත.

මීට අමතරව රාජ්‍ය හා පුද්ගලික ආයතන ඉදිකළ පසු සංස්ථාවට ගෙවිය යුතුව තිබෙන රුපියල් මිලියන ගණනක මුදලක් එකතු කර ගැනීමටද නොහැකි තැනට පත්ව ඇත.

යහපාලන කාලයේදී ගත් අදූරදර්ශී තීරණ හා නිස්ප්‍රයෝජන ව්‍යාපෘති නිසා ආයතනය දැඩි ආර්ථික අර්බුදයකට ගිය බවත් කොරෝනා වසංගතයත් සමග එම තත්ත්වය දරුණු වී ගිය බවත් ඒ මහතා කීය. රටේ දරුණු ආර්ථික කඩාවැටීමත් සමග ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ ගිය පසු වත්මන් තත්ත්වය උදාවූ බවද ඒ මහතා කීය.

වසර හැටක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වසා දැමීමට පාලකයන් කටයුතු නොකරනු ඇතැයි ද වත්මන් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මැදිහත්වී විකල්ප ක්‍රම හරහා ආයතනය ගොඩනැගීමට යත්න දරන බවද සභාපතිවරයා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment