රාජ්‍ය තන්ත්‍රයේ වෙනසක් කරමින් ගැටලුවලට විසඳුම් ගෙන ඒම  ජනපති හා මැති සබයේ වගකීමයි

276

කොළඹ තරුණ බෞද්ධ සංගමය

අප සියලු දෙන දන්නා පරිදි, මේ වන විට අප රට තුළ බරපතළ ගැටලු රාශියක් නිර්මාණය වෙමින් පවතී. රටේ ජනතාව ඉතා දුෂ්කර ගැටලු රාශියකට මුහුණ පා සිටී. මේ තුළින් පුළුල් ජනතා හඬක් ද මතුවී තිබේ. මෙම ගැටලු උග්‍ර වීමට හේතු වී ඇත්තේ දැනට උද්ගත වී ඇති ගැටලු සඳහා ජනතාවට විශ්වාසයක් තැබිය හැකි උපාය මාර්ග පිළිබඳව අවශ්‍ය විනිවිදභාවයෙන් යුක්තව රජය විසින් යෝජනා නොකිරීම නිසා බව අපගේ අදහසයි. ජනතාව ඒවා විසඳා ගැනීම සඳහා වීදි බැස අරගල සිටිමින් සිටී. මෙම ගැටලු සඳහා පිළිතුරු ලබා දීමට අපොහොසත් වුවහොත්, එය රට අරාජිකත්වයට යෑම දක්වා වර්ධනය විය හැක. එබැවින් ජනාධිපතිතුමාටත්, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ටත් ජනතාවගේ ගැටලු තව දුරටත් උග්‍ර වන්නට ඉඩ නොදී, රට අරාජිකත්වයට යා නොදී, සියලු පක්ෂ භේද නොසලකා සාමූහිකව කටයුතු කරමින්, ජනතා ප්‍රශ්නවලට සාධාරණ සහ සංවේදී ලෙස සවන් දෙමින්, රාජ්‍ය තන්ත්‍රයේ පුළුල් වෙනස්කම් ඇති කිරීමේ යෝජනා සහ විසඳුම් ඉදිරිපත් කිරීමේ දැඩි වගකීමක් ඇති බව අපගේ අදහසයි.

කොළඹ තරුණ බෞද්ධ සංගමය වර්ෂ 1898 දී ආරම්භ කරන ලදී. එය එදා සිට අද දක්වා ඉතා විශිෂ්ට සමාජ සහ ආගමික මෙහෙවරක් ඉටු කරමින් සිටී. එදා සංගමයේ සභාපතිතුමා ලෙස ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතාත් ප්‍රධාන ලේකම් ලෙස සී. එස්. දිසානායක මහතාත් පත්කර ගනු ලැබීය. මෙහි ඇති විශේෂත්වය වන්නේ සී. එස්. දිසානායක මහතා කතෝලික භක්තිකයකු වීමයි. කතෝලික බැතිමතෙකු වූ එතුමා මෙම සමිතියේ ලේකම් ධුරයට පත්කරනු ලැබීමෙන් අපට පෙනී යන්නේ, කොළඹ තරුණ බෞද්ධ සංගමය හුදෙක් බෞද්ධ ධර්මය ප්‍රචලිත කිරීම සඳහා පමණක්ම නොව ශ්‍රී ලංකාවට බලපානු ලබන අනෙකුත් ගැටලුකාරී අවස්ථාවන්හිදී ඒ සඳහා මැදිහත්වීමද අරමුණු කොට ගත් බවයි.

රටේ යෞවනත්වය මෙන්ම, සාමාන්‍ය මහජනතාවත්, අද වන විට අප රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉතා බරපතළ ගැටලු රාශියකට මුහුණ පා ඇති බව ඔබතුමන්ලා හොඳින් දන්නා කරුණකි. මහජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම බරපතළ අරගලයක් බවට පත්වී ඇති අතර ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු ප්‍රවාහන, අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා යන සියලු අංශ අඩපණ වීම හරහා මහජනතාවගේ ජන ජීවිතයට මෙන්ම රටේ සියලු ව්‍යාපාරවලටද බරපතළ පහරක් එල්ල වී ඇත. මේ තත්ත්වය තුළින් ජනතාවගේ අපේක්ෂා භංගත්වය ඉස්මතුවී ඇති අතර දිගින් දිගටම වර්ධනය වන උද්ධමනයද ජනතාව ඉතාම අසරණ තත්ත්වයකට ඇද දමමින් පවතී.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අද ජනතාව උද්ඝෝෂණ
රැල්ලක් කරා යොමු වී ඇත. මෙම උද්ඝෝෂණ ජනතාවගේ ස්වාධීන සහභාගිත්වයට අමතරව විවිධ සංවිධාන මගින් මෙන්ම පුද්ගල මැදිහත්වීමෙන් ඇතිවන බවත් දැකිය හැක. මෙම උද්ඝෝෂණ සහ ජනතා විරෝධය දැඩි ලෙස වර්ධනය වීමට හේතු වී ඇත්තේ දැනට උද්ගත වී ඇති ගැටලු සඳහා ජනතාවට විශ්වාසයක් තැබිය හැකි උපාය මාර්ග පිළිබඳව අවශ්‍ය විනිවිදභාවයෙන් යුක්තව රජය විසින් යෝජනා නොකිරීම නිසා බව අපගේ අදහසයි.

උද්ගත වී ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලෙස යෝජනා කරනු ලබන විසඳුම් මොනවාද යන්න රජය විසින් ඉතා වගකීමෙන් යුක්තව එළිදක්වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරනු ලබයි.

මෙතෙක් එවැනි වැඩපිළිවෙළක් රජයෙන් ඉදිරිපත් නොවීමත්, මේ සම්බන්ධයෙන් නිසි පරිදි ජනතාව දැනුවත් නොකිරීමත් බරපතළ අඩුපාඩුවක් ලෙස අපි දකින්නෙමු. මෙම තත්ත්වය වඩාත් බැරෑරුම් වීමට තවත් හේතු සාධකයක් ලෙස අප දකින්නේ, පාර්ලිමේන්තුව තුළ ජනතාව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල සහභාගිත්වය විසඳුම් සොයා ගැනීම සඳහා නිසි පරිදි ලබාගෙන පක්ෂ දේශපාලනයෙන් තොර ඵලදායි සකච්ඡාවන් හරහා විසඳුම් සකසා ගැනීමට නොහැකි වීමයි. මෙම තත්ත්වය එසේම පැවතුන හොත්, මේ රට අරාජිකත්වය කරා ගමන් කිරීම නොවැළැක්විය හැකි වනු ඇත. එබැවින්, කොළඹ තරුණ බෞද්ධ සංගමය ලෙස අප ජනාධිපතිතුමා, අගමැතිතුමා, කථානායකතුමා සහ සියලුම පක්ෂ නායකවරුන්ගෙන් ඉතා ගෞරවයෙන් සහ ඕනෑකමින් ඉල්ලා සිටින්නේ රට අරාජිකත්වයට යා නොදී, පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරනු ලබන අනෙකුත් සියලු පක්ෂ සමගද සාකච්ඡා කොට උත්තරීතර පාර්ලිමේන්තුව හරහා ඇතිවී ඇති සමාජීය සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් කෙටි, මාධ්‍ය සහ දිගුකාලීන විසඳුම් ජනතාවට පිළිගත හැකි පරිදි අවශ්‍ය විනිවිදභාවයෙන් ඉදිරිපත් කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් එතුමන්ලාගේ ඉක්මන් සහ දැඩි අවධානය යොමු වෙනු ඇතැයි අපි සමස්ත ශ්‍රී ලංකේය ජනතාව වෙනුවෙන් ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.

රාජ්‍ය තන්ත්‍රයේ වෙනසක් කරමින් ගැටලුවලට  විසඳුම් ගෙන ඒම  ජනපති හා මැති සබයේ වගකීමයි
advertistmentadvertistment
advertistmentadvertistment