රාජ්‍ය දේපළ වංචා කළ කීදෙනෙක් ගැන යහපාලන සමයේ විමර්ශනය කළාද…

239

කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය නීතිපතිගෙන් අසයි

රාජ්‍ය දේපළ මහා පරිමාණයෙන් වංචා කළ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් කොපමණ පිරිසක් සම්බන්ධයෙන් යහපාලන රාජ්‍ය සමයේදී නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කළේ දැයි හෙළි කරන ලෙස කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඊයේ (05) ලිඛිතව ඉල්ලීමක් කළේය.

දූෂිත ක්‍රියාවලට සම්බන්ධ බවට අනාවරණය වූ ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කොපමණ පිරිසකට එරෙහිව අධිකරණ හමුවේ මේ වන විට නඩු පවරා තිබේද යන කරුණ මෙන්ම ඉදිරියේදී නඩු පැවරීමට පියවර ගන්නේ ද යන කරුණත් ඔවුනට එරෙහිව එල්ලවී ඇති චෝදනා කුමක්දැයි නම් ගම් ඇතුළුව විස්තර සහිතව අනාවරණය කරනා ලෙසත් එම සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් පෙරේරා හා ලේකම් නීතිඥ සරත් ඒකනායක යන මහත්වරුන්ගේ අත්සනින් භාරදුන් එම ලිපිය මගින් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගිය 3 වැනිදා පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී 2015 වසරේ සිට එකී විමර්ශන අංශ විසින් ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසකට එරෙහිව සිදු කළ රාජ්‍ය දේපළ වංචා කිරීම් ඇතුළු දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කිරීමෙන් පසුව සිය සංගමයේ සාමාජිකයන් ඇතුළු නීතිඥ ප්‍රජාව තුළ ඒ පිළිබඳව දැඩි උනන්දුවක් පවතින බැවින් නඩු අංක ඇතුළු විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සිටිනා බවත් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා එමගින් නීතිපතිවරයාට දන්වා තිබේ. සිය ඉල්ලීම සලකා බැලු නීතිපති සංජය රාජරත්නම් මහතා ඒ සම්බන්ධයෙන් විශේෂ ගොනුවක් විවෘත කිරීමට පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (05) ප්‍රකාශ කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment