රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයෙන් හපුහින්න ඉවතට

269

නව ලේකම් රංජිත් අශෝක

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඉවත්කර නව ලේකම්වරයා ලෙස රංජිත් අශෝක මහතා පත්කර ඇත.

රංජිත් අශේක මහතා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු (මානව සම්පත්) ලෙස කටයුතු කරමින් සිටියේය. ඒ මහතා මිට පෙර රිෂාඩ් බදුර්දීන් මහතා ඇමැති ධුරය දරන සමයේ වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.

නීල් බණ්ඩාර හපුහින්න මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත්වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත්කර ඇති අතර ධුරයෙන් ඉවත්කරන ලේකම්වරුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංචිතයට එකතු වන නමුත් හපුහින්න මහතා එම අමාත්‍යාංශයේ තවදුරටත් තබා ගැනීම කාලෝචිත නොවන නිසා ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

නීල් බණ්ඩාර හපුහින්න මහතා මාරු කිරීම කුමන කරුණක් මත සිදුවී තිබේ දැයි හෙළිවී නොමැත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව ඇප මුදල් භාර නොගන්නා ලෙස තේරීම් භාර නිලධාරීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දීම නිසා ඒ මහතාට චෝදනාවලට ලක්වීමට සිදුවිය. පසුව මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත සමාව ගෙන ඒ මහතා විසින් එම චක්‍රලේඛය ඉවත්කර ගැනීමට කටයුතු කරනු ලැබීය.

ඇප මුදල් භාර නොගන්නා ලෙස ඉදිරිපත් කළ චක්‍රලේඛය කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් මත සිදුකර ඇති බවට ප්‍රකාශ වුවත් කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් නොගත් බවට අගමැතිවරයා විසින් පවසා තිබිණි.

එහෙත් පසුව කළ සොයා බැලීමේදී කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගෙන ඇති බව හෙළිවී තිබූ අතර එය පාදකකර ගෙන හපුහින්න මහතා ඉවත්කර ඇති බවට කතාබහට ලක්වෙයි.

නව ලේකම් රංජිත් අශෝක මහතා අද හෝ හෙට (20 හෝ 21) නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment