රාජ්‍ය වියදම් තටු කපයි

264

රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමේ අවශ්‍යතාව අනුව මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති ජාතික අයවැය ලේඛනයේ විධිවිධාන අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී ඇත.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඊයේ (15දා) ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ දැනුම් දීම සිදුකර තිබේ.

මේ අනුව ‘රාජ්‍ය වියදම් පාලනය’ මැයෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් 2022 අප්‍රේල් 26 දිනැතිව අදාළ ජාතික අයවැය චක්‍රලේඛය නිකුත් කර ඇත.

මේ චක්‍රලේඛයේ විධිවිධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් එයට පරිබාහිරව සිදු කෙරෙන රාජ්‍ය විදයම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳී සිටිය යුතු බවටත් ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

2022 අප්‍රේල් 26 දිනැති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව ඉන්ධන සහ නිෂ්පාදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලිබල වියදම් සීමාකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම් හා කුලියට ගැනීම් නැවැත්වීම, දේශීය අරමුදල් මගින් සිදු කරනු ලබන විදේශ අධ්‍යාපන චාරිකා හා පුහුණු වැඩසටහන් නැවැත්වීම, අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව අමාත්‍යාංශ හෝ ආයතන මට්ටමින් සිදු කරනු ලබන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීම සහ විවිධ සුබසාධන/සහනාධාර හා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇතිකර නොගැනීම යනාදී සීමාවන් තවදුරටත් සියලුම රාජ්‍ය ආයතන විසින් දැඩිව අනුගමනය කළ යුතු වේ.

එසේම එම චක්‍රලේඛය ප්‍රකාරව වියදම් දැරීමේදී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ද වියදම් පාලන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුවේ.

මේ යටතේ කටයුතු ආරම්භ කර ඇති නමුත් අමුද්‍රව්‍ය හිඟය වර්තමාන වෙළෙඳපොළ තත්ත්වය හෝ වෙනත් හේතූන් නිසා ඉදිකිරීම් කටයුතු නවතා ඇති හෝ අඩු ප්‍රගතියක් වාර්තාකර ඇති ව්‍යාපෘති, වැඩ හා භාණ්ඩ මිලදී ගැනීම් නැවැත්වීම, තෝරාගත් ඉදිකිරීම් හෝ මිලදී ගැනිම් පමණක් සිදු කිරීම හෝ එම ව්‍යාපෘති වැඩ හෝ භාණ්ඩ මිලදී ගැනීම් කල් තැබීමට කටයුතු කළ යුතු වේ.

එසේම කොන්ත්‍රාත්කරුවන් සමඟ එකඟතාවකට පැමිණ කොන්ත්‍රාත්කරුවන්ට සහ රජයට අවාසියක් නොවන පරිදි කටයුතු කිරීමේ ක්‍රමවේදය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්ය.

මේ යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිදු දීමනාවක් සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීමට සහ සියලුම සුබසාධන සහ සහනාධාර වැඩසටහන් නැවත සමාලෝචනය කර ඒවා අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු අඩු ආදායම් ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීමද කළ යුතු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත,  චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment