රාජ්‍ය සල්ලි නාස්තිකාරයන් විධායකයෙන් යටගහනවා – කොළේ ඉරාගන්නෙ නැතිව වැඩේ කරන්න මම දන්නවා

378

හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත්

කෝප් කමිටුව කියන්නෙ ව්‍යවස්ථාදායක රාජකාරියක්. ව්‍යවස්ථාදායක රාජකාරියකට බැහැ නීතිය ක්‍රියාත්මක කිරීමට. එය විධායකය සතු රාජකාරියක්. ව්‍යවස්ථාදායක රාජකාරියක් ලෙස දෙන නිර්දේශ ඉටුකිරීමට බැඳිල ඉන්නවා විධායකය. මෙතනදී විධායකය කියන්නෙ අමාත්‍යාංශයේ ලේකම්වරයා. නමුත් සමහර අවස්ථාවල විධායකයෙ ඉහළ අය එනම් ඇමැතිවරයා හෝ ජනාධිපතිවරයා. වර්තමානයේ නොවෙයි හැමවිටම විධායකය කියන බලය විසින් එම තීරණ ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නෙ නැහැ.

මෙරට දේශපාලන ගමන්මගේ හමුවන චරිත දෙස විමසා බැලීමේදී බොහෝදෙනා තුළ දේශපාලනඥයන් කෙරේ එතරම් සුබවාදී හැඟීමක් නැත. ඒ ඔවුන්ගේ චරිතය එතරම් හොඳ නැති නිසාය. නමුත් අද අප සාකච්ඡා කරන චරිතය ඒ ආකාරයෙන් තම චරිතය විනාශ කරගත් අයකු නොවේ. ඔහු විවිධ අවස්ථාවල විවිධ චරිත තුළින් අපට හමුවේ. මුලින්ම ඔහුව අපට හමුවන්නේ පේරාදෙණිය විශ්වවිiාලයේ දාර්ශනික විiාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙසිනි. තවත් විටෙක හමුවන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අලෙසිනි. එසේම ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයාය. වියත්මග සාමාජිකයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මේ සියල්ලටම වඩා ඔහුගේ නම ඉදිරියේ සනිටුහන් වන වැදගත්ම තනතුර වන්නේ හිටපු කෝප් කමිටු සභාපතිවරයා යන තනතුරයි. මේ අද ‘දිවයින – කතිකා’ හා එක්වන්නේ ආචාර්ය චරිත හේරත් මහතාය.

● මොකක්ද? මේ කෝප් කමිටුව කියන්නේ.

පාර්ලිමේන්තුවෙ ව්‍යවස්ථාදායක බලය යටතේ පවතින ඉතාමත් වැදගත් පසුවිපරම් කමිටුවක්. රටේ මහජන මුදල් අනුමත කරන්නෙ පාර්ලිමේන්තුවෙන්. එම මුදල් පාර්ලිමේන්තුවෙන් අනුමත කරනවා හා සමානවම බලයක් පවතිනවා එම මුදල් පිළිබඳ පසු විපරම් කිරීමට. එනම් රටේ මුදල් කුමන ආකාරයෙන්ද වියදම් වී තිබෙන්නෙ කියලා හොයල බලන්න. එම මුදල් වියදම් කිරීමේදී ගන්න තීන්දු තීරණ පිළිබඳ පසුවිපරම් කිරීමේ බලය පවතින්නෙ පාර්ලිමේන්තුවට. කෝප් කමිටුව කියන්නෙ පාර්ලිමේන්තුව යටතේ පත්කර තිබෙන රටේ පවතින රාජ්‍ය ව්‍යාපාරවල වියදම් මූල්‍ය විගණනය සහ ප්‍රතිපත්ති තීරණ පිළිබඳ පසුවිපරම් කිරීමේ කමිටුව.

මේ රටේ මේ වනවිට රාජ්‍ය ආයතන 427 ක් පමණ පවතිනවා. මෙයින් සමහර ආයතන නමට පමණක් පවතින ආයතන. තවත් සමහර ආයතන ඉතාමත් තීරණාත්මක සහ ඉතාමත් බරපතළ ආකාරයෙන් වැඩ කෙරෙන ආයතන. මෙවන් රාජ්‍ය ආයතනවල පසුවිපරම් කිරීම තමයි කෝප් කමිටුවේ මූලික කාර්යභාරය.

පාර්ලිමේන්තුවේ පක්‍ෂවල සංයුතිය අනුව එහි ව්‍යුහය හා නියෝජනය සකස් වී තිබෙනවා. ආණ්ඩු පක්‍ෂයටත්, විපක්‍ෂයටත් යන දෙපක්‍ෂයටම එහි තනතුරු ලැබෙනවා. මුලදී 16 දෙනෙක්ගෙන් ආරම්භ වුණා. පසුව 22 ක් වුණා. මේ වනවිට තවත් වැඩිවෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ බිස්නස් කොමිටියට එය වැඩිකිරීමේ හැකියාව පවතිනවා.

● හැමදාමත් කෝප් කමිටුව මගින් රාජ්‍ය ආයතනවල මූල්‍ය අක්‍රමිකතා, වංචා, දූෂණ හෙළිකරනවා. නමුත් ඊට රජය මගින් ක්‍රියාමාර්ගයක් ගන්න බවක් පේන්න නැහැ. ඒක කමිටුවෙ තියෙන අඩුපාඩුවක්ද. නැතිනම් රජය මේ කාරණා හිතාමතාම යට ගහනවද….?

කෝප් කමිටුව කියන්නෙ ව්‍යවස්ථාදායක රාජකාරියක්. ව්‍යවස්ථාදායක රාජකාරියකට බැහැ නීතිය ක්‍රියාත්මක කිරීමට. එය විධායකය සතු රාජකාරියක්. ව්‍යවස්ථාදායක රාජකාරියක් ලෙස දෙන නිර්දේශ ඉටුකිරීමට බැඳිල ඉන්නවා විධායකය. මෙතනදී විධායකය කියන්නෙ අමාත්‍යාංශයේ ලේකම්වරයා. නමුත් සමහර අවස්ථාවල විධායකයෙ ඉහළ අය එනම් ඇමැතිවරයා හෝ ජනාධිපතිවරයා. වර්තමානයේ නොවෙයි හැමවිටම විධායකය කියන බලය විසින් එම තීරණ ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නෙ නැහැ. සමහර විමර්ශනවල ප්‍රතිඵලවලට අනුව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියන්නෙ ඒවා විධායක වශයෙන් ක්‍රියාත්මක කරන්නෙ නැහැ සමහර අමාත්‍යාංශවල ලේකම්වරු. එය මෙහි පවතින ගැටලුවක්.

● ඒ සඳහා අලුත් නීති සම්පාදනය කරල ක්‍රියාත්මක කිරීම මගින් වරදකරුවන්ට සහ එම ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බැරිද?

එහෙම ක්‍රියාත්මක කරන්න අමාරුයි. මොකද කෝප් කමිටුව ක්‍රියාත්මක වෙන්නෙ ස්ථාවර නියෝග යටතේ. දැනට ස්ථාවර නියෝග යටතේ ඉඩක් නැහැ. කමිටුවේ අයට කෙළින්ම නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ල නඩු පවරන්න. එහෙම තියෙනවනම් ඔබ කියන ප්‍රශ්නය විසඳන්න පුළුවන්. ඒක නිසා ඔබ අහනන ප්‍රශ්නෙ ප්‍රශ්නයක් විදිහට තියෙනවා.

● ඔබතුමා සභාපතිත්වය දරන කාලයේ කරන ලද කමිටු විමර්ශනවලදී රාජ්‍ය ආයතන කීයක අක්‍රමිකතා හඳුනාගත්තාද ඒ ආයතන මොනවාද. අවභාවිත වූ මුදල් ප්‍රමාණය කොපමණද?.

අපේ කාලයේ රාජ්‍ය ආයතන රාශියක් විමර්ශනයට ලක්කළා. එහිදී සමහර ආයතන විශාල වශයෙන් රජයේ ආදායම විනාශ කරන ආකාරය දැක්කා. එහිදී විශේෂයෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින් වගේ ආයතන විශාල වශයෙන් රටට බරක්. ඒ වගේම තවත් සමහර ආයතන රාජ්‍ය සතුව තිබුණු ආයතන. දැන් රජයෙන් ගැලවිලා ගිහින්. ඒ නීතියට පටහැනි ආකාරයෙන්. එහෙම ආයතනත් තිබුණා. ඒ වගේම තවත් සමහර ආයතන උපක්‍රමික වැදගත්කම බලනකොට ලැබෙන මූල්‍ය වාසිය අඩුයි. සමහර ආයතන ආණ්ඩුවෙන් කියනව මේක ලාභයි කියල. එහෙම ලාභයි කියන්නෙ වියදම් කරපු මුදලට සාපේක්‍ෂව ලැබිල තියෙන මුදල වැඩි නිසා. නමුත් එම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට සාපේක්‍ෂව මේ රටේ තිබෙන උපක්‍රමික ඉඩ දෙස බැලීමේදී එම ලාභය මදි. උදාහරණයක් ලෙස ගෑස් ගත්තොත් ගෑස් ලංකාවෙ විකුණන්නෙ එක කොම්පැණියක්නම් එම කොම්පැණිය අයිති ආණ්ඩුවටනම් එම කොම්පැණියෙ ලාභය විශාල ලාභයක් විය යුතුයි. නමුත් එහෙම නැහැ. පොඩි ලාභයක් පෙන්නගෙන තියාගෙන ඉන්නව. ඇත්තෙන්ම රජයකට ව්‍යාපාර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනව. රජයකට ව්‍යාපාර කිරීමේ විශාල ගැටලුවක් පවතින බව පේනවා.

● අලුතින් පත්වන ආණ්ඩුව කරන්නෙ කලින් ආණ්ඩුව සමයෙ රාජ්‍ය ආයතනවල වැරදි පෙන්න පෙන්න ජනතාවට සැබෑ ප්‍රශ්න අමතක කිරීම නොවේද?

නැහැ ඒක බොරුවක්. ආණ්ඩු කොහොමත්, වර්තමාන ආණ්ඩුවෙත් කලින් ආණ්ඩුවෙත් දෙකේම විගණකාධිපතිවරයා විසින් කරන ලද විමර්ශන තමයි කෝප් කමිටුව විසින් පදනම් කරගන්නෙ. කෝප් කමිටුවේ විමර්ශන විගණකාධිපතිවරයා හරහා ආපු වාර්තා. එවැනි වාර්තා පසුගිය ආණ්ඩුවෙ ඒවත් තාම තියෙනව. ඒවා පිළිබඳත් හොයල බලන්න ඕන. මේ ආණ්ඩුවෙ ඒව පිළිබඳවත් හොයල බලන්න ඕන. මෙතෙක් කරන ලද විගණනයන්ට පදනම් වෙලා කරන නිසා සමහර ඒවා පසුගිය ආණ්ඩු කාලෙටත් සම්බන්ධයි. ඔබ ඔය කියන විවේචනයට පදනමක් නැහැ.

● කෝප් කමිටුවට පත්වන සාමාජිකයන් අවංකවම ස්වාධීනව කටයුතු කරනවද. ඔවුන් ඔවුන්ගෙ නියෝජිතයව ආරක්‍ෂා කරනවද?

ඒකට එක උත්තරයක් දෙන්න බැහැ. මොකද ඒකට උත්තර වර්ග දෙකක් තියෙනවා. සමහර අය සමහර වෙලාවට තමන්ගෙ මේ වගකීම හරියට ඉටුකරන්නෙ නැති අවස්ථා තියෙනව. නමුත් සමස්තයක් වශයෙන් මන්ත්‍රීවරු මේකෙදී බලන්නෙ මේ ප්‍රශ්නයට මේ විමර්ශනයට අදාළ අවධානය ලබාදීම මිසක එහෙම නැතුව එක එක පක්‍ෂවලට බෙදිල වැඩ කරන එක නෙමෙයි.

● චරිත හේරත් කියන චරිතය අපි හඳුනගෙන තියෙන්නෙ සුදු චරිතයක් විදිහට. දේශපාලනයට පිවිසීමත් සමග ඔබේ චරිතයට යම් හානියක් වුණා කියල හිතනවද?

නැහැ. මම ඒ පිළිබඳව බොහොම පරිස්සම් වෙනව. දේශපාලනයට පිවිසීම එකක්. චරිතය විනාශ කරගන්නෙ නැතිව පවතින එක තව එකක්. මම මේ රටේ වැදගත් රස්සා ගණනාවක් කරපු අමාත්‍යාංශ ලේකම්කම්, සභාපතිකම්, මහාචාර්යකම් කරපු කෙනෙක්. හැබැයි මම දේශපාලනයට ආවෙ ඉතාමත් වැදගත් තීරණයක් මත. ඉතින් මම හිතනව මගේ චරිතය සහ මගේ නමට තියෙන ගෞරවයක් තියෙනව නම් ඒක හානිකරගන්නෙ නැතිව දේශපාලනය කරන ආකාරය ගැන මට විශාල තේරුම් ගැනීමත් තියෙනව කියල.

● සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන කාලෙත් ආයතන රාශියක වංචා දූෂණ හෙළිකළා. එහෙම හෙළිකරන ලද වංචා දූෂණ අලුතින් පත්වූ සභාපතිවරයා ඉදිරියට ගෙනාවද…?

සාමාන්‍යයෙන් ඉදිරියට ගෙනයනවා. ඒව වහන්න බැහැ. අලුත් සභාපතිවරයාට සිද්ධ වෙනව පරණ වාර්තාවෙ ඉඳල යන්න. ඒක නිසා ඒකෙන් පැනල යන්න බැහැ.

● අපට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙන ප්‍රවෘත්තියක් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහෝමයකගෙ අධ්‍යාපන මට්ටම අවම මට්ටමක පවතින බව. විශේෂයෙන් සමහරුන් සාමාන්‍ය පෙළත් අසමත් බව. එවැනි අය බාධාවක් නොවෙයිද කොමිසමේ කටයුතුවලට.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ අධ්‍යාපන මට්ටම විවිධයි. ඒක නිසා සමහර වෙලාවට අධ්‍යාපන මට්ටම වෙනස් වෙනස් අය ඒකෙ ඉන්නව. ඒගොල්ලො අවංකව වැඩ කරනවනම් ඒක කමිටුවට බාධාවක් නෙවෙයි.

සාකච්ඡා කළේ – සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment