රාජ්‍ය සේවකයන් හැටෙන් යවයි

663

රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස් සීමාව 60 බවට සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා විසින් ඊයේ (14 දා) චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය.

මෙම චක්‍රලේඛයට අනුව නව විශ්‍රාම යෑමේ වයස් සීමාව ලබන ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව පසුගිය රජය මගින් වයස 65 දක්වා ඉහළ දැමූ අතර එය 2022 ජනවාරි මස 01 සිට මේ දක්වා ක්‍රියාත්මකව පැවතුණි.

නව චක්‍රලේඛයට අනුව වයස අවුරුදු 60 ඉක්මවා දැනට සේවයේ යෙදී සිටින සහ 2022 දෙසැම්බර් 31 හෝ එදිනට පෙර වයස අවුරුදු 60 සම්පූර්ණ වන නිලධරයන්ට ද ඔවුන්ගේ කැමැත්ත පරිදි 2022 දෙසැම්බර් 31 දින හෝ ඊට ප්‍රථම විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

2022 දෙසැම්බර් 31 ට විශ්‍රාම ගැනීමට නියමිත සියලුම නිලධරයන් තම විශ්‍රාම ඉල්ලුම්පත් අදාළ පත්වීම් බලධරයා මගින් නිසි ක්‍රමවේදය අනුව අනුමත කරවා ගැනීම හා ඒවා නියමිත පරිදි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීම, විශ්‍රාම පූර්ව නිවාඩු සම්බන්ධයෙන් 2010 සැප්තැම්බර් 30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2010 හි 03 ඡේදය අනුව ක්‍රියා කිරීම හා අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 වීමෙන් පසුව යම් විශේෂඥ සේවාවක් ලබාගැනීම අවශ්‍ය වන්නේනම් දැනටමත් බලාත්මක 2018 පෙබරවාරි 20 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2018 අනුව ක්‍රියා කළ යුතු වෙයි.

එමෙන්ම විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ “0” උපලේඛනය යටතේ විශ්‍රාම වැටුප් හිමිකම ලබන නිලධරයන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමට අවශ්‍ය අවම සේවා කාලය වසර පහ සිට වසර දහය දක්වා දීර්ඝ කිරීම තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙයට පෙර විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛවල සඳහන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 2023 ජනවාරි 01 දින සිට අවුරුදු 60 දක්වා සංශෝධනය විය යුතුය.

මෙම චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ඇතිව නිකුත් කරන අතර, මෙම නියමයන්ට අනුව රාජ්‍ය නිලධරයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස, අවුරුදු 60 දක්වා අඩු කිරීමට අදාළව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමට ඉදිරියේදී පියවර ගනු ලබන බව ද ලේකම් මායාදුන්න මහතා කියා සිටී.

මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑම අවුරුදු 60 දක්වා අනිවාර්ය කිරීමෙන් පසු යම් නිලධරයෙක්ගේ සේවය තවදුරටත් අවශ්‍ය නම් අදාළ නම් කැබිනට් මණ්ඩලයේ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සිදු කර ගැනීමට අවස්ථාව හිමි වේ.

දැනට විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑම අවුරුදු 63 වේ. මීට අමතරව ඉංජිනේරු හෝ වෙනත් වෘත්තියක නිලධරයන් අවුරුදු 60 ඉක්මවා සේවය ලබාගත යුතු නම් මීට පෙර එවැනි නිලධාරීන් පත්කරගත් ආකාරයට කැබිනට් මණ්ඩලයේ, රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියෙන් සිදු කරගත හැකිය යන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment