රාජ්‍ය සේවකයාගේ කට වහන්න ගේන්න යන සිංගප්පූරු පනත…

386

රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සිංගප්පුරු රජය ක්‍රියාත්මක කර ඇති සමාජ මාධ්‍ය පනත ඇසුරු කරගනිමින්, පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. එමෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ ගැන පසුගිය දිනවල කරන ලද ප්‍රකාශයක්ද බෙහෙවින් කතාබහට ලක්විණි. මේ ඒ ගැන ලියැවුණු සටහනකි.

ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් රාජ්‍ය සේවකයාගේ සමාජ මාධ්‍ය සබඳතාවන්ට සීමා පනවා තිබේ. 2022 අග භාගයේ නිකුත් කරනු ලැබූ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් රාජ්‍ය සේවකයාට ඇති භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ සීමාවන් දක්වා තිබිණි. අදාළ චක්‍රලේඛ නිකුත් කරනු ලැබූ ආසන්න කාලයේදී මේ පිළිබඳ සමාජ කථිකාවතක් සමාජගත වුවත් ඒ පිළිබඳ සමාජ උනන්දුව ද ක්‍රමයෙන් හීන වී ඇත.

කෙසේ වුවද සමාජ මාධ්‍ය සීමා කිරීමේ අදහස ඉදිරියට පැමිණෙන්නේ දේශපාලනය ද සමගිනි. රජයේ කටයුතු පිළිබඳ අදහස් දැක්වීම් විවෘතවීම තුළ එය දේශපාලනයට සබඳතාවක් පැවතීම පිළිබඳ පාලක පක්ෂය සංවේදී වේ. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවන් මෙන්ම බොහෝ රජයේ ප්‍රතිපත්ති තීරණ ගැනීම්වල පවතින අසමතුලිතතාවයන් හෝ දූෂිත ගති ලක්ෂණ පිළිබඳ දීර්ඝකාලීන දේශපාලන හා සමාජ කථිකාවන් පවතී. මේ සඳහා රාජ්‍ය සේවකයාගේ මැදිහත්වීම ද විවිධ ආකාරයෙන් සිදු වේ. රජයේ සේවය විධානය ලෙස බොහෝ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධිත අතර රාජ්‍ය සේවය ද මහජන මුදලින් නඩත්තු වන නිසා එය තුළින් බොහෝ විවෘත හැසිරීම් මහජනතාව අපේක්ෂා කරයි. දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මෙන්ම රාජ්‍ය සේවයද සමග පවතින මහජනතා බන්ධනයන් බොහෝදුරට සුභවාදී නොවේ. මේ අනූව රටේ සමස්ත සමාජ ආර්ථික හා සදාචාරය බිඳවැටීම තුළ බලවත් සමාජ විවේචනයක් රජයට, දේශපාලනයට හා රජයේ සේවය වෙත එල්ල වී ඇත. සෑම අතින්ම විද්‍යාමාන පසුගාමීත්වය ඉතා පුළුල් ගැඹුරක් වෙත තල්ලු වී ඇති අතර ඒ සඳහා වූ ප්‍රතිවිරෝධයන් ද බලවත්සේ උග්‍ර වී ඇත.

අර්බුදයන්ට හේතු වූ කරුණු විසඳනවා වෙනුවට ඒවා යටපත් කරමින් තවදුරටත් පැරණි රාජ්‍ය සම්ප්‍රදායන් හා භාවිතාව තුළම බලය රඳවා ගැනීමේ ව්‍යාපෘති තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය රැඳී පවතී. පැරණි හා යල්පැන ගිය මෙන්ම දූෂණයට හා නාස්තියට බර ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් දේශපාලන වශයෙන් ද ආර්ථික හා සමාජයීය වශයෙන් ද සමාජයේ එක්තරා කොටසකට දීර්ඝ කාලීන වාසි ගෙනදී ඇත. පැරණි ක්‍රම තුළ හා සම්ප්‍රදායික භාවිතාවන් නූතන ජාත්‍යන්තර සමාජය තුළ එකී ජන සමාජවලට තුලනාත්මකව වාසි නොවේ. තුලනාත්මක වැඩි වාසියක් ලබාගැනීමට නම් පවතින යල්පැන ගිය දේශපාලන, සමාජ, ආර්ථික සම්ප්‍රදායන් පැහැදිලි වෙනසකට භාජනය වීම අවශ්‍ය වේ. “සිස්ටම් චේන්ජ්” ක්‍රම වෙනසක් සමාජය ඉල්ලන්නේ මෙම ගතානුගතික සම්ප්‍රදායන් වලින් දරුණු ලෙස බැට කන තවත් කොටස් හරහාය. තරුණ ප්‍රජාව, අඩු වරප්‍රසාද හා හැකියාවන් සහිත සමාජ කොටස් මේ අතර ප්‍රධාන වේ. රාජ්‍ය සේවය මෙම ගතානුගතික වැටකොටු මත හිරවී ඇති මහජන මුදලින් නඩත්තු වන සමාජ සංස්ථාවකි. බලය සඳහා සම්ප්‍රදායික හා යල්පැන ගිය භාවිතාවන් තම වාසියට යොදාගන්නා පාලන පන්තියක ගොදුරක් වී ඇති රාජ්‍ය සේවය එම ග්‍රහණයන්ගෙන් මුදවාගැනීම ද එතරම්ම වූ අභියෝගයකි. කෙසේ වුවද පුද්ගලයාගේ හා සමාජයේ බොහෝ දේ සඳහා සීමා වැටකඩොලු බැඳිය හැක්කේ එක්තරා දුරකට පමණි. රාජ්‍ය සේවකයා ද පවතින දුර්වල හා දූෂිත ක්‍රමයේ ආරක්ෂකයෙක් මෙන්ම ප්‍රබල ගොදුරකි. රාජ්‍ය සේවකයාද ටයිපටි පැළඳ ගත් සාමාන්‍ය පුරවැසියෙකි. සීමිත ආදායම් හා වරප්‍රසාද තුළ ජීවත් වන බහුතර රාජ්‍ය සේවකයාගේ තේරුම් ගැනීම් ද ඒ අනුව පීඩාවට හසු වූ ජන කොටස්වලට අත්වූ ඉරණමට සමාන්තර වේ. සමාජයේ සිදුවන හොඳ නරක ඒ සඳහා වන හේතුඵල වාදය පිළිබඳවත් රාජ්‍ය සේවකයා වෙනත් සමාජ කොටස්වලට වඩාඅවදියෙන් සිටින කෙනෙකි. ඒ ඔහු ඒ සඳහා සෘජුවම සම්බන්ධතාවක් දක්වන බැවිනි. දේශපාලකයාගේ මෙන්ම ඔවුන් සමග කිට්ටුවෙන් ගනුදෙනු කරන පහළ රාජ්‍ය නිලධාරියාගේ කාමර ඇතුළේ සිදුවන බොහෝ දේ යතුරු සිදුරෙන් නිරීක්ෂණය කරන කෙනෙකි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිචාර විධිමත්ව හේ අවධිමත්ව සමාජගත වේ.

● ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි

ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි රාජ්‍ය සේවය නියාමනය කිරීම සඳහා වූ ප්‍රධානතම මුලාශ්‍ර දෙක වේ. විශේෂයෙන්ම ආයතන සංග්‍රහය විසින් පරිපාලනමය මඟ පෙන්වීම් සිදු කරන අතර මුදල් රෙගුලාසි රාජ්‍ය සේවයේ මූල්‍ය විනය පිළිබඳ මඟ පෙන්වීම සිදු කරයි. මෙම මඟ පෙන්වීම්වල අනුසාරයෙන් රාජ්‍ය සේවයේ කටයුතු නියාමනය සඳහා සිය දහස් ගණන් චක්‍රලේඛ ද නිකුත් කර ඇත. බොහෝ දුරට ආයතන සංග්‍රහයට අදාළව චක්‍රලේඛ උපදෙස් රාජ්‍ය පරිපාලන විෂය යටතේත්, මුදල් රෙගුලාසි පිළිබඳ චක්‍රලේඛ මුදල් විෂය යටතේත් භාණ්ඩාගාරය යටතේත් නිකුත් කෙරේ. මෙම ලේඛන මගින් පරිපාලන හා මූල්‍ය විනය, කාර්යක්ෂමතාවය, ආයතනික පරිපාලන හා මූල්‍යමය පරිපාලනයන් පිළිබඳව උපදෙස් හා නියාමනයන් ලබාදී ඇත.

සාමාන්‍යයෙන් එදිනෙදා බොහෝ කටයුතු මෙම ආයතන හා මුදල් රෙගුලාසි යටතේ සිදුවන බවට රාජ්‍ය සේවකයන් වගබලා ගැනීම ද කළ යුතු වන්නේය. එලෙස වනු ඇතැයි බොහෝදෙනාගේ බලාපොරොත්තුවයි.

කෙසේ වුවද පුළුල්ව පවතින ජන හා සමාජ මතය වන්නේ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වී ඇති අකාර්යක්ෂම දූෂිත මහජන මුදල් කාබාසිනියා කරන චෝදනා සහිත ආයතන ලෙසයි. අකාර්යක්ෂමතාවය මත බොහෝ රාජ්‍ය ආයතන මහජන මුදල් කා දමන ආයතන ලෙස සමාජ විශ්වාසය ඉතා ඉහළය. එමෙන්ම රාජ්‍ය ආයතන ප්‍රමාණය හා ගුණය පිළිබඳ පවතින්නේ දැඩි විවේචනයන්ය. දීර්ඝ කාලයක් ක්‍රියාත්මක ආයතන හා මූල්‍ය රෙගුලාසි නිසි පරිදි පිළිපදිනු ලැබුවේ නම් රාජ්‍ය සේවය මීට වඩා කාර්යක්ෂම වූද, මහජන හිතකාමී වූද, රටේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා සුවිශාල දායකත්වයක් ලබාදෙනු ලැබුවා වූ ද ආයතන ව්‍යුහයක්වීමට ඉඩ තිබිණි. එහෙත් ප්‍රතිඵලය වී ඇත්තේ වෙනස් දෙයකි. ආයතන සංග්‍රහයට හා මුදල් රෙගුලාසිවලට එහාගිය ඉන් පරිබාහිර වූ භාවිතාවන්ය. ආයතන සංග්‍රහ උපදෙස් හා මූල්‍ය රෙගුලාසි මඟ පෙන්වීම් සිදුරුවලින් රිංගා ඉන් බාහිරව කෙරෙන පරිපාලනයන් හා මුදල් ගනුදෙනු ජයටම සිදු වේ. ආයතන සංග්‍රහයේ උපදෙස් මත බඳවාගත යුතු රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ව්‍යාජව සිදුවේ. බොරු ඉල්ලුම්පත් සකස්කොට දේශපාලකයාට හිතවත් අය බඳවාගැනීම සාමාන්‍ය දෙයක් වී ඇත. ආයතන සංග්‍රහයට අනුව බඳවාගැනීම් ලිපි ගොනුව නිවැරදි වුවත් භාවිතයේදී ආයතන සංග්‍රහ උපදෙස් කෙලසා ඇත. මුදල් රෙගුලාසි අනුව විවෘත මිල ගණන් කැඳවා රජයේ මිලදී ගැනීම් සිදුකළ යුතු වුවත් බොහෝ මිලදී ගැනීම් කොමිස් හා සංතෝෂම් මත සිදුවන බව රහසක් නොවේ. බොහෝදුරට එකම සැපයුම්කරු සියලු මිල ගණන් ලබාදී මුදල් රෙගුලාසි උපදෙස්වලට සමාන්තරව ලිපිගොනු සකස්වීම සිදු වේ. මෙපරිදි ආයතන සංග්‍රහයට හා මුදල් රෙගුලාසිවල කුඩා සිදුරු මෙන්ම ලොකු සිදුරු ද තුළින් රිංගා සිදුවන රාජ්‍ය සේවා භාවිතාවන් අනුව ආයතන සංග්‍රහ හා මුදල් රෙගුලාසි උපදෙස් බොහෝදුරට සරදම් නිලවාදයට අයත් වේ. නොදියුණු දේශපාලකයත්, නොදියුණු සමාජයත් හා ආර්ථිකයත් මෙන්ම ගතානුගතික රාජ්‍ය සේවය වෙනස් කිරීමට මෙම ලේඛනවලට නොහැකියාව පැවතුණු බව වර්තමාන සමාජ ආර්ථික දර්ශකයන් මනාව සාක්ෂි දරයි.

● සමාජ මාධ්‍ය හා රාජ්‍ය සේවය

ආයතන සංග්‍රහයේ හෝ මුදල් රෙගුලාසිවලට අදාළ චක්‍රලේඛ වලට පටහැනිව බොහෝ දේ සිදුවන බව සමාජය දනී. මෑත යුගයේදී ඒවා සුලබව වැඩි වේගයෙන් සමාජගත කිරීමට සමාජ මාධ්‍ය සන්නිවේදනය ඉදිරි කාර්්‍යය භාරයක් ඉටු කරයි. චක්‍රලේඛන උපදෙස් පිළිපදිමින් ක්‍රියාත්මක කරන බව හා ක්‍රියාත්මක වෙන බව පෙන්වමින් බොහෝ දේ ඉන් පිට සිදු වේ. ඒවා සමාජගත වීම බොහෝදුරට සිදුවන්නේ සමාජ මාධ්‍ය ජාලා මගිනි. ඒ සඳහා බොහෝදුරට මූලිකත්වය කෙළින්ම හෝ වක්‍රව රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබේ. ඒවා බොහෝදුරට නම් ගම් සහිතව ද නොවේ. අනෙක් අතට සමාජ මාධ්‍ය ජාලා හරහා රාජ්‍ය සේවයේ බොහෝ අකටයුතුකම්, දේශපාලනමය මැදිහත්වීම්, දූෂිත ක්‍රියාකාරකම් ආදිය සමාජගතවීම බොහෝ වේගවත්ව සිදුවේ. පාලකයන් බොහෝදුරට මෙම ප්‍රචාරයන්ට වැට බැඳීමේ අසාර්ථක උත්සාහයක යෙදෙන්නේ අසාර්ථක ආයතන සංග්‍රහ හෝ මුදල් රෙගුලාසි වල වගන්ති ද යොදාගනිමිනි. සමාජය හා ආර්ථිකය ශෝචනීය තත්ත්වයට පත් වී ඇත්තේ ආයතන සංග්‍රහයන් අජීවී කඩදාසි බවට පත් කර ඇති යුගයක් තුළයි.

ලෝකය, විද්‍යාව, තාක්ෂණය, විද්්‍යුත් සන්නිවේදනය ආදිය දියුණු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයතන සංග්‍රහ හෝ මුදල් රෙගුලාසිවලට නොදැනෙන පරිදිය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සන්නිවේදනය රාජ්‍ය සේවය ද ඇතුළු සමස්ත ප්‍රජාවම සිය ජීවිතවල හා සමාජ ආර්ථික ජීවිතයේ ප්‍රධාන සහකරු බවට පත් වී හමාරය. ඒ අනුව ආයතන සංග්‍රහ පරණ පිටු අතරින් ඒ සඳහා කරනු ලබන බලපෑම චක්‍රලේඛනවලින් නතර කිරීම සරදමකි. රාජ්‍ය සේවයේ කේලම් කියන හා ඕපාදූප කියන පුරුද්දට අත්තටු සපයා ඇත්තේ සමාජ මාධ්‍ය තුළිනි.

● සමාජ මාධ්‍යයට ඉඩදීම

රාජ්‍ය සේවයේ අදහස් හුවමාරුව හා යහපත් සන්නිවේදනය සඳහා විශාල ඉඩකඩක් පවතී. ශ්‍රී ලංකාවේ සමාජය හා ආර්ථිකය වලපල්ලට වැටී ඇත්තේ යහපාලන මූලධර්ම සමාජයෙන් ඈත් කිරීමට දේශපාලන අධිකාරිය ප්‍රමුඛව ක්‍රියා කිරීමත්, රාජ්‍ය සේවය ඒ සඳහා අත්වැල් ඇල්ලීමත් නිසාය. දේශපාලකයන් හා පාලකයන් මෙන්ම රාජ්‍ය සේවකයා ද යහපාලන මූලධර්ම ඔස්සේ ක්‍රියාකරන්නේ නම් කේලාම් හෝ ඕපාදූප සමාජගතවීම පවා සුබවාදීව සැලකිල්ලට භාජනය කළ හැක. ඒ මගින් සමාජ මාධ්‍යය, රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවයේ මුර බල්ලකු සේ ක්‍රියාකිරීම අගය කළ යුත්තකි. ඒ අනුව සමාජ මාධ්‍ය සන්නිවේදනය සඳහ අවකාශ සැලසීම යහපාලකයන්ගේ වගවීමක් වීම සිදුවිය යුතුය. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ පාලකයන් බොහෝ දුරට දීර්ඝ කාලීනව හෘද සාක්ෂියට එරෙහිව ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජ මාධ්‍ය තහනම වැනි සරදම් නිලවාදී චක්‍රලේඛ සමාජගත වේ. ඒවා දේශපාලන වුවමනාවන් මත නිකුත් වුවත් එය සරදමක් වන්නේ එය දැලකින් හුලං වැදීමකට සමාන වන බැවිනි. මේ හරහා තේරුම් යන්නේ සමාජ මාධය තහනම ඉදිරිපත් වන්නේ අයුතු හා දූෂණ ක්‍රියාවන් කඩිනමින් සමාජගතවීම වැළැක්වීමේ යටි අරමුණු සමගිනි. එසේ නොවන්නේ නම් විශේෂිත චක්‍රලේඛ මේ සඳහා නිකුත් කිරීම අවශ්‍ය නොවන ව්‍යායාමයකි.

දැනටමත් සමාජ මාධ්‍ය රාජ්‍ය සේවාවන් බොහෝදුරට පහසුකර ඇත. අන්තර්ජාලය හරහා මෙන්ම සමාජ මාධ්‍ය පහසුකම් බොහෝදුරට රාජ්‍ය සේවාවන් සැපයීමේ මාධ්‍ය ලෙස ඉතා ශක්තිමත්ව දියුණු සමාජයක් තුළ ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ද බොහෝදුරට අවධිමත් භාවයෙන් මහජන සේවා සන්නිවේදනය සඳහා සමාජ මාධ්‍යය යොදා ගනී. බොහෝදුරට එය සිදුවන්නේ රාජ්‍ය සේවකයාගේ පෞද්ගලික දුරකතන බිලට අතිරේක මුදලක් ද එකතු වීමෙනි.

● සමාජ මාධ්‍යය රාජ්‍ය සේවය විධිමත් කිරීමට මෙවලමක් ලෙසට

සමාජ මාධ්‍යවලට වැට බැඳීමට වඩා රාජ්‍ය සේවා වැට කඩොලු මායිම් ඉවත් කර යහපාලන මූලධර්ම හා භාවිතාවන් සමාජගත කිරීම සඳහා සමාජ මාධ්‍යය නීත්‍යානුකූලවම යොදාගැනීම බොහෝදුරට රාජ්‍ය පරිපාලනය පහසු කරනු ඇත.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතය මගින් ඉතා දියුණු ලෙස මහජන සබඳතාවය හා සන්නිවේදනය දියුණු කළ හැක. මහජන සේවාවන් සැපයීමේදී සමාජ මාධ්‍ය සන්නිවේදනය භාවිතා කිරීම සේවාවන් වේගවත් කිරීමට හා ජනතා අවශ්‍යතාවන් වේගයෙන් සන්නිවේදනය කිරීමට උපකාර වනු ඇත. දැනටමත් රාජ්‍ය සේවාවන් තුළ එබදු වුනන්දු කාරක නිලධාරීන්ගේ මැදිහත්වීම හා නායකත්වය මත එබදු දේ සිදුවූවත් ලෝකයේ එබදු භාවිතාවන් පිළිබඳ සලකා බැලීමේදී ප්‍රමාණවත් නොවේ.

රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති සමාලෝචනය සඳහා ද සමාජ මාධ්‍යය භාවිතා කළ හැක. සමාජ හා ආර්ථික පර්යේෂණ මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති සඳහා මහජන මත විමසුම ද සමාජ මාධ්‍ය මගින් ඉතා සරලව හා කඩිනමින් සිදුකළ හැක. බොහෝ රාජ්‍ය ප්‍රතිපත්ති හා භාවිතාවන් සඳහා සමාජය දක්වන ප්‍රතිචාර සමාජ මාධ්‍ය මගින් දැක ගැනීමට රාජ්‍ය පාලකයන් උත්සාහ කරන්නේ නම් ඒ හරහා බොහෝ ප්‍රතිපත්ති නිවැරදි කර ගැනීමට, කඩිනම් කිරීමට හැකිවනු ඇත.

සමාජ මාධ්‍ය මගින් සමාජය විසින් ලබාදෙනු ලබන අවධානය හෝ විවේචන හා අදහස් දැක්වීම් ක්‍රමානුකූලව ලබාගැනීමේ ඉඩකඩ සොයාබැලීම, රාජ්‍ය වියදම් අවම කිරීමේ ක්‍රමෝපායන්ද වනු ඇත. බොහෝ විට රාජ්‍ය සේවාවන්වල ජනතා අදහස් විමසීම් හෝ පර්යේෂණ කිරීම කල්ගත වන හා වියදම් අධික ක්‍රියාමාර්ගයන් වේ. රටේ සමාජයේ සිදුවන බොහෝ දේ පිළිබඳ සමාජ මාධ්‍ය හරහා දක්වන ජනතා ප්‍රතිචර අවධානයට ලක් කරන්නේ නම් ඒවා පර්යේෂණ සේ භාර ගැනීමට රාජ්‍ය පාලකයන්ට හැකිවනු ඇත.

● සමාජ මාධ්‍යය විනය පාලකයෙක් ලෙස

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හා රාජ්‍ය සේවයේ ද පවතින බොහෝ අනිසි කටයුතු මහජනතාව කඩිනමින් දැන ගන්නේ සමාජ මාධ්‍ය හරහාය. මේ නිසා බොහෝ එවැනි කටයුතු සඳහා කෙළින්ම හෝ වක්‍රව කටයුතු කරන අය සමාජ මාධ්‍ය ප්‍රචාරයන් පිළිබඳ තැති ගැන්මක් ද පවතී. මෙම තැතිගැන්ම මත විධිමත්ව හෝ අවධිමත්ව දේශපාලන උපදෙස් මත චක්‍රලේඛ බවට පෙරළේ. රජයේ උපදෙස් බවට ඒවා පත්වුවත්, රජයේ නිලධාරීන්ගේ අදහස් දැක්වීම් සීමා කළත් ඒවා සමාජගතවීම සිදුවේ. බොහෝදුරට රාජ්‍ය සේවකයාගේ හා ආයතනවල මූල්‍ය හා පරිපාලන විනය ආරක්ෂා කිරීමට ආයතන සංග්‍රහයන්ට වඩා සමාජ මාධ්‍යය හේතු වී ඇත. අයුතු හෝ දූෂිත හෝ මහජන විරෝධී ක්‍රියාවන් කිරීමට පෙර රාජ්‍ය නිලධාරියා දෙවරක් සිතීමට පෙළඹී ඇත්තේ සමාජ මාධ්‍ය බලපෑම නිසාය. රාජ්‍ය සේවයේ අකටයුතු හෝ දූෂණ පිළිබඳ කරුණු දැක්වීම සඳහා අතීතයේ සිට භාවිතාවන්නේ මහජන පෙත්සම් ක්‍රමය වේ. ඈත පිටිසර ජීවත් වන ගැමියකු රජයේ නිලධාරියකුගෙන් වූ අකටයුත්තක් පිළිබඳ පෙත්සමක් ලිවීමට හා එය තැපැල් කිරීමට දින කිහිපයක් වෙහෙසවන අතර බොහෝදුරට ඒ සඳහා තවත් කිහිපදෙනකුගේ සහාය ද ලබා ගනී. බොහෝදුරට ඔහුට දින කිහිපයකින් ලැබෙන්නේ පෙත්සම ලැබුණු බවට වූ පිළිතුරකි. දිගු කලක් ඔහුගේ පැමිණිල්ලට හෝ පෙත්සමට පිළිතුරක් නොලැබෙන්නේ නම් කලක් ගිය පසු ඔහු එය අමතක කරනු ඇත. එම තරුණ දේශපාලන කරුණක් නම් ඔහු ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නේ ඉදිරි මැතිවරණයකදීය. රාජ්‍ය සේවයේ ඉහළ කළමනාකරණය විසින් මහජනතාවට සිදුවන පීඩාවන් වැළැක්වීම සඳහා මහජන අදහස් හා පැමිණිලි ලබා ගැනීමට විවිධ ක්‍රම භාවිතා කරයි. ඒ අනුව බොහෝ රජයේ කාර්යාලවල පැමිණිලි පෙට්ටි ක්‍රම හඳුන්වාදී ඇත. බොහෝ දුරට මෙම පැමිණිලි පෙට්ටිවල ඇති පැමිණිලි සඳහා පසු විපරම් කළමනාකරණයන් කෙබඳු විදිහට ක්‍රියාත්මක වන්නේ දැයි දන්නේ මේවාට සම්බන්ධ නිලධාරීන් පමණි. මෙම ගතානුගතික ක්‍රමවලින් මිදි ඇත්තේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යෑමත් සමගය. පැමිණිලි පෙට්ටිවල ඇති අදහස්වලට වඩා සමාජ මාධ්‍ය අදහස් සැලකිල්ලට ගැනීමේ ක්‍රමයක් තුළ බොහෝදුරට එවැනි අකටයුතු සඳහා සම්බන්ධ රාජ්‍ය සේවකයන් පිළිබඳ යම් යම් තීරණ ගැනීමේ ඉඩකඩ පවතී. දැනට බොහෝ දුරට රාජ්‍ය නිලධාරීන්ගේ විවිධ එකමුතු හා සමාජ සම්බන්ධතා සඳහා මුහුණු පොත (FB) විශාල ලෙස යොදාගනී. එබදු පරිදිම රාජ්‍ය ආයතනයක මහජන අදහස් ලබාගැනීම සඳහා මුහුණ පොත අනුකරණය නීත්‍යානුකූල කවුළුවක් විවෘත කළ හැක. මේ මගින් අදහස් යෝජනා මෙන්ම ඡායාරූප හෝ පටිගත කළ සාක්ෂි කඩිනමින් ලබාගත හැක. මෙය ලිපි මගින් ලැබෙන පැමිණිලි කළමනාකරණයට වඩා කඩිනම් පහසු හා වියදම් අවම ප්‍රවේශයකි.

මේ අනුව රාජ්‍ය සේවය කළමනාකරණය කිරීමේදී සමාජ මාධ්‍ය සහකරුවෙක් ලෙස කටයුතු කිරීම රාජ්‍ය සේවයට මෙන්ම පාලකයන්ට ද නිවැරදිවීමට අවස්ථාව ඇති කරයි. ඔවුන්ගේ නිවැරදිභාවය හා කාර්යක්ෂම භාවය සමාජය අපේක්ෂා කරයි. ඔවුන්ගේ දූෂිත හෘද සාක්ෂිය මත නිකුත් කරන චක්‍රලේඛ වලට වඩා විවෘත භාවයක් සහිත සමාජ මාධ්‍ය රජයේ මෙන්ම සමාජයේ හා ආර්ථිකයේ නිවැරදිතාව හා ඵලදායී බව වැඩිකර ගැනීම සඳහා සුබවාදීව යොදාගැනීම යුගයේ ජනතා අවශ්‍යතාව ඉටු කිරීමකි. රට වටකර වැට බැන්දත් කට වටකර වැට බැඳීමට නොහැකිය යන පැරණි කියමන අදට වලංගු කර ගත යුත්තේ සමාජ මාධ්‍යයට වැට බැඳිය නොහැකිය යනුවෙන් පාලකයා හා පාලිතයා තේරුම් ගැනීමකිනි.

ජිනසිරි දඩල්ලගේ

advertistmentadvertistment
advertistmentadvertistment