රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම හරි වෙලාවේ ගන්න වැරදි තීරණයක් ද ?

503

සති හයකින් අන්තර්කාලීන අයවැයක් ගෙනෙන බව අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. මේ වසර (2022) සඳහා දැනට ඉදිරිපත්ව ඇති අයවැය අලුත් තත්ත්වයන් අනුව මේ වන විට බොහෝ දුරට යල්පැනගිය එකකි. ඇත්ත වශයෙන්ම හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය ගෙනාවේ ගිය වසරේ නොවැම්බර් මාසයේ දීය. එහෙත් එය ඒ වන විටත් රට මුහුණ දී සිටි විදේශ විනිමය අර්බුදය හෝ ජනයා මුහුණදී සිටි අමාරු ආර්ථික තත්ත්වය සලකා බලා ඒවාට විසඳුම් ලැබෙන පරිදි සැලසුම් කළ අයවැයක් නොවීය. එසේම ඉන් පසුව 2022 මාර්තු මස මුලදී මහ බැංකුව විසින් දීර්ඝ කාලයක් රු. 203 ක අගයේ අල්ලාගෙන සිටි රුපියල එක විටම අතහැර පා කළ නිසා විදේශ විනිමය අනුපාතය දිගින් දිගටම ඉහළ ගොස් විශාල වශයෙන් බඩු මිල වැඩි වී තිබේ. විශාල අගයන්ගෙන් ඉන්ධන මිල ගණන් කිහිප වරක් වැඩි වීමත් සමග තවදුරටත් බඩු මිල වැඩි වෙමින් තිබේ. මේ අනුව උද්ධමනය මේ වන විට සියයට 30 ද ඉක්මවා ගොස් ඇති අතර සියයට 40 ද ඉක්මවා උද්ධමනය ඉහළ යනු ඇති බව ද පැවසේ. එහෙත් ජනයාගේ ආදායම් මට්ටම් හෝ වැටුප් වැඩි වී නැත. මේ නිසා ජනයාට දැන් තිබෙන්නේ ජීවත්වීමට ඉතාම අපහසු තත්ත්වයකි. මෙය ඉතාම දිළිඳු අයට පමණක් නොව සාමාන්‍ය මාසික වැටුප් ලබන අයටත් ඉතාමත් අපහසුවෙන් හිඟා නොකා හිඟාකමින් ජීවත් වීමට සිදුව ඇති මොහොතකි. මේ නිසා ඉදිරි අන්තර්කාලීන අයවැයෙන් අවශ්‍ය කරන්නේ අප සිතන්නේ ජනයාට පොදුවේ සහන සලසන වැඩපිළිවෙළකි.

● රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම

ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අයවැයෙන් රජයේ සේවකයන්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව පෙරේදා (27) මාධ්‍ය වාර්තා කර තිබිණි. අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීමට රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහා බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 2015 වසරේ යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් බව අපට මතකය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යහපාලන රජය සමයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව දෙගුණයක පමණ වැටුප් වැඩි කිරීමක් සහන අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද එම මාධ්‍ය වර්තාවක සඳහන්ව තිබිණි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට සමාන්තර ලෙස පෞද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස අගමැතිවරයා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිත බව ද සඳහන් වුවත් එය කිසිදා සිදුවන දෙයක් නොවේ. එය මේ මොහොතේ බොහෝ පෞද්ගලික ආයතනවලට කළ හැකි දෙයක් ද නොවන බව අපගේ අදහසයි. මේ නිසා මේ ඉදිරි අන්තර්කාලීන අයවැයෙන් මෙසේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට යන බව පැවසුන ද කොපමණ අගයකින් රාජ්‍ය සේවක වැටුප් ස්ථිරවම වැඩි කිරීමට තීරණය කර තිබේ ද යන්න අප තවමත් දන්නේ නැත. මෙය වැටුප් වැඩි කිරීමට පමණක් නොව තිබෙන රාජ්‍ය සේවක වැටුප පවා ගෙවීමට රජයට මුදල් නැති මොහොතකි. එනම් තිබෙන රාජ්‍ය සේවක වැටුප පවා සල්ලි අච්චු ගසා ගෙවීමට සිදුව ඇති මොහොතකි. මේ නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම නැවත සලකා බැලිය යුතු තීරණයකි. එය තවත් උද්ධමනය වැඩිවීමට තුඩුදෙන කරුණක් ද වනු ඇත.

● සල්ලි අච්චු ගසා වැටුප් ගෙවීම

මෙය ඩොලර් පමණක් නොව රාජ්‍ය බදු ආදායම ද හොඳටම පහත වැටී අපට රුපියල් ද නැති ඉතාම අමාරු රාජ්‍ය මූල්‍ය තත්ත්වයක් ඇති මොහොතකි. මේ පසුබිම තුළ මේ වෙලාවේ රජය සහ මහ බැංකුව නිවැරදි තීන්දු බොහොමයක් ගනිමින් සිටින බව පෙනේ. ඒ සියල්ල අපි අගය කරමු. එහෙත් මේ නිවැරදි තීන්දු අතරේ හරි වෙලාවේ වුවත් වැරදි තීන්දු ගැනීමෙන් අප වැළකිය යුතු වේ. මෙය රාජ්‍ය සේවකයන් පමණක් නොව සියලු දෙනාම අමාරුවෙන් සිටින මොහොතකි. රජයට කෙතරම් මුදල් නැතත් අවශ්‍ය නම් මුදල් අච්චු ගසා හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවිය හැකිය. තවදුරටත් මුදල් අච්චු ගැසීමේ තීරණය දැනටමත් ගෙන තිබේ. ඒ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පවසා ඇත. එහෙත් පෞද්ගලික අංශයට තම ආදායම් ප්‍රමාණවත් නැත්නම් සහ පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාඩු සිදු වෙනවා නම් ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා සල්ලි අච්චු ගැසීමට හැකියාවක් නැත. ඔවුන්ට සල්ලි අච්චු ගැසීමේ මැෂින් නැත. රජයට නම් සල්ලි අච්චු ගසා හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවිය හැකිය. එහෙත් ඒ නිසා ඇතිවෙන උද්ධමනයට සහ බඩු මිල ඉහළ යාමට මුහුණ දෙන්නේ රාජ්‍ය සේවකයන් පමණක් නොව සමස්ත ජනතාවමය. අනිත් අතට රාජ්‍ය සේවකයන්ට වැටුප්ගෙ වන්නේ ද බදු ගෙවන ජනතාවගේ මුදලෙනි. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර මහ බැංකුව රජයට අරමුදල් දෙන්නේ මුදල් අච්චු ගසාය. ඒවා පසුව පොලියත් සමග පියවිය යුතුවේ. ඒ බර දරන්නේ පොදු ජනයායි. මේ ආර්ථික අර්බුදය කෙතරම් දරණු වුවත් රාජ්‍ය සේවකයන්ගේ රැකියා නැති වන්නේ නැත.

ඔවුන්ට දැනට ලැබෙමින් තිබෙන වැටුප් අඩු වන්නේ ද නැත. එහෙත් මේ දරුණු ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ ආයතන වසා දැමීම මෙන්ම ඒ නිසා බොහෝ දෙනෙක්ට රැකියා නැති වීම ද සිදුව ඇත. අප දන්නා පරිදි බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයක් වැසී ගොස් ඇත. එසේම බොහොමයක් පවත්වාගෙන යන ව්‍යාපාර ආයතන පවා ගෙනියන්නේ බොහෝ අමාරුවෙන් සහ පාඩු පිටය. බොහෝ පෞද්ගලික සේවකයන්ට කොරෝනාවට පසු මේ දක්වා කිසිදු වැටුප් වැඩි වීමක් හෝ බෝනස් ලැබීමක් සිදුව නැත. එසේම රැකියා අහිමි වීම ඇතුළුව තවත් තමන්ගේම ව්‍යාපාර කරන අයට නිෂ්පාදන වියදම් විශාල ලෙස ඉහළ ගොස් තම ව්‍යාපාර කටයුතු කිරීමට අපහසු තත්ත්වයන්ට මුහුණ දී සිටී. එනම් ඔවුන්ට දැන් කලින් ලැබුණු ආදායමවත් නොලැබෙන අතර පාඩු විඳීමට ද සිදුව ඇත. මේ නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ තීරණය මේ සියලු දෙනාම තවත් අමාරුවට සහ පීඩාවට පත් කරන්නකි. ඒ නිසා මේ අතිශය අමාරු වෙලාවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට පියවර නොගෙන සිටීම වඩාත්ම සුදුසු බව අපගේ අදහසයි. මුළු මහත් ජනසමාජයම කැපවීම් කරමින් සිටින මේ මොහොතේ පොදුජනයා මත තවත් බර පටවා රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකළ යුතු බව කිව යුතු වේ. ඔවුන් ද මේ වෙලාවේ අමාරුවෙන් සිටින බව ඇත්තය. ඒ නිසා කළ යුතු වන්නේ රාජ්‍ය සේකයන් ද ඇතුළුව සියලු ජනතාවට පොදුවේ සහනයක් ලබාදෙන වැඩපිළිවෙළකි. රාජ්‍ය සේවකයන් සිටින්නේ ලක්ෂ දාහතරක් පමණකි. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 65 කට අධික වන අතර අනෙකුත් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයත් තවත් ලක්ෂ ගණනකි. මේ සියලු දෙනා ගැනම අප සිතිය යුතුය. රාජ්‍ය සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි වී අනෙකුත් සියලු දෙනාගේ වැටුප් හෝ ආදායම් මට්ටම් වැඩි වීමක් සිදු නොවන්නේ නම් එහිදී ඇති වන්නේ විශාල විෂමතාවකි. මේ ගැන අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මේ අවස්ථාවේ තීන්දු තීරණ ගන්නා සියලු ආර්ථික බලධාරීන්ට අපි සිහිපත් කර සිටිමු. අවශ්‍ය කරන්නේ ආර්ථිකය ගොඩ ගැනීමේ සාමූහික මෙහෙයුමකි. එයට රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු දෙනා කැපවීම් කළ යුතු වේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන ඔවුන්ගේ ස්වාමිවරු වන්නේ පොදු මහජනතාවයි.

● මූල්‍ය අරමුදලේ ප්‍රකාශය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග පැවැත්වූ පළමු වටයේ මාර්ගගත සාකච්ජා ඉකුත් 24 දින අවසන් කළ අතර ඒ සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පසුගිය බ්‍රහස්පතින්දා (26 ) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. එම සාකච්ජාවලින් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මූලික සොයාගැනීම් මෙහි ඉදිරිපත් කරන ඇත. Peter Breuer මහතා සහ Masahiro Nozaki මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කණ්ඩායමක් මැයි 9-24 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අයිඑම්එෆ් ණය දීමේ විධිවිධානයකින් සහාය විය හැකි ආර්ථික වැඩසටහනක් ගැන සාකච්ජා පැවැත්වීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම සමඟ පැවති තාක්ෂණික සාකච්ඡාවලින් අනතුරුව අයිඑම්එෆ් කණ්ඩායම සමාප්ති රැස්වීමේදී මාර්ගගතව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එසේම එම කණ්ඩායම පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මූල්‍ය අංශය සහ සංවර්ධන හවුල්කරුවන් ද හමුවිය. සාකච්ජා අවසානයේ දී අයිඑම්එෆ් කණ්ඩායම පහත ප්‍රකාශය නිකුත් කළේය.

“ශ්‍රී ලංකාව දුෂ්කර ආර්ථික තත්ත්වයන්ට සහ දැඩි ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණ දී සිටී. මෑතකාලීන ආර්ථික දර්ශකවලින් පෙනී යන්නේ ඉන්ධන සහ විදුලි හිඟය හේතුවෙන් ආර්ථික ක්‍රියාකාරකම්වලට ඍණාත්මක ලෙස බලපා ඇති බවයි. ගෝලීය ආහාර හා තෙල් මිල ඉහළ යෑම ගෙවුම් ශේෂ පීඩනයට තවදුරටත් එකතු වී තිබේ. භාණ්ඩ හිඟය, ඉන්ධන මිල ඉහළ යෑම සහ මුදල් අවප්‍රමාණය වීම ඇතුළු බොහෝ සාධක මගින් උද්ධමනය වේගවත් වී ඇත. මෙම සන්දර්භය තුළ, පවතින අර්බුදකාරී තත්ත්වය ජනතාවට, විශේෂයෙන්ම දිළිඳු සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ඇති කරන බලපෑම පිළිබඳව අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් පිළිබඳ අයිඑම්එෆ් කණ්ඩායම තාක්ෂණික සාකච්ඡා පැවැත්වීය. ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමේදී සහ ඉදිරියට ගත යුතු ප්‍රතිපත්ති ප්‍රමුඛතා හඳුනාගැනීමේදී කණ්ඩායම හොඳ ප්‍රගතියක් ලබා ඇත. අවදානමට ලක්විය හැකි සහ දුප්පතුන් ආරක්ෂා කරමින් මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම කෙරෙහි සාකච්ඡාවල අවධානය යොමු විය. මුදල් ප්‍රතිපත්ති සහ විනිමය අනුපාත පාලන ක්‍රමවල විශ්වසනීයත්වය සහතික කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ වර්ධනය වැඩි දියුණු කිරීමට සහ පාලනය ශක්තිමත් කිරීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවධානය යොමු වූ අතර මෙම සාකච්ඡා බලධාරීන්ට ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ වැඩසටහන සකස් කිරීමට උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැදගත් පියවරක් ලෙස ඔවුන්ගේ ණයහිමියන් සමඟ සහයෝගී සංවාදයක යෙදීම සඳහා මූල්‍ය හා නීති උපදේශකයන් පත් කිරීම කණ්ඩායම විසින් සාදරයෙන් පිළිගත්තේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහනකට විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වේ.

අයිඑම්එෆ් කාර්ය මණ්ඩලය, ආර්ථික හා දේශපාලන තත්ත්වය ඉතා සමීපව අධීක්ෂණය කරන අතර අයිඑම්එෆ් සහාය දක්වන වැඩසටහනක් යටතේ සංයුක්ත පියවරයන් සැකසීමට බලධාරීන් සමඟ මෙන්ම අර්බුදය කාලෝචිත ලෙස විසඳීමට සහාය වීම සඳහා පුළුල් පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට අපගේ කැපවීම අපි යළිත් තහවුරු කරමු. දූත මෙහෙවර තුළ අයිඑම් එෆ් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ඵලදායී නියැළීම සහ සහයෝගය සඳහා බලධාරීන්ට ඔවුන්ගේ කෘතඥතාව පළ කරති.”

● ආර්ථිකය ස්ථාවර කර ගැනීම

දැනට අපගේ ආර්ථිකයේ ඇත්තේ අස්ථාවර තත්ත්වයකි. බඩු මිල ගණන් ද වේගයෙන් ඉහළ යමින් තිබේ. මේ නිසා උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බව ද බලධාරීන් ප්‍රකාශ කර ඇත. මේ නිසා සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය අපේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ. මේ සම්බන්ධයෙන් අදහසක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ මාධ්‍ය සමාජය ඉකුත් මැයි 23 දා සවස කොළඹ හිල්ටන් හෝටලයේදී සංවිධානය කර තිබූ හමුවේ ප්‍රධාන ආරාධිත දෙසුම පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය. එනම් ඔහු කීවේ මේ වනවිට සැලසුම් කර ඇති ප්‍රධාන කරුණු ඉදිරි මාස 6, 7 තුළ සම්පූර්ණ කර ගත හැකි වුවහොත් මාස 12 කින් පමණ ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීමට හැකි වනු ඇතැයි තමා සිතන බවයි. එය සතුටුදායක කරුණකි. එහෙත් ඒ සඳහා අප සැලසුම් කර ඇති ප්‍රධාන කරුණු ඉදිරි කාලයේ සාර්ථකව සම්පූර්ණ කරගත හැකි විය යුතු වේ. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන කාරණා ඉදිරි මාස 6, 7 තුළ සම්පූර්ණ කර ගත හැකිවිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට මූල්‍ය පහසුකම් ලබාගත හැකි වන්නේ එවිටය. ඒ සමගම මහ බැංකු අධිපතිවරයා කීවේ තමා කියන්නේ භාණ්ඩ මිල ගණන් පහළ යෑමක් ගැන නොව ආර්ථිකය දැනට පවතින තත්ත්වයට වඩා යහපත් මට්ටමක ස්ථාවර වනු ඇති බවයි. එසේම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී මෙසේ ද කීවේය.

මේ පවතින විදේශ විනිමය අර්බුදයට දිගුකාලීන විසඳුම වන්නේ අප විදේශ විනිමය වියදම් කරනවාට වඩා විදේශ විනිමය උපයන රටක් බවට පරිවර්තනය වීමයි. මේ අනුව මැදිකාලීනව සහ දිගුකාලීනව අපි අපේ රටේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව වර්ධනය කරගත යුතුයි. එසේ නැතහොත් අපට දිගින් දිගටම ඉදිරියේදීත් විදේශ විනිමය අර්බුදයන්ට මුහුණ දීමට සිදුවෙනවා.”

මේ නිසා මේ අවස්ථාවේ ආර්ථික අර්බුදය සමනය කිරීමට හදිසි පියවරයන් ගන්නා අතරම මැදි හා දිගුකාලීනව අපගේ විදේශ විනිමය උපයන හැකියාවන් වර්ධනය කිරීමට යොමු වීම අත්‍යවශ්‍ය වේ. නැතහොත් මේ වෙලාවේ අමාරුවෙන් හෝ මේ විනිමය අර්බුදය සමනය කර ගත්තත්, ඉදිරියේ දී නැවත නැවත අපට විනිමය අර්බුදයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

● ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ ස්ථාවරය

පසුගිය දිනවල සමාජජාල මාධ්‍යවල පවා වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කර නැවත හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කිරීමට යන බවට නොයෙකුත් පුවත් පළ වී තිබිණි. මේ ගැන මේ ලියුම්කරු හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් විමසීමක් කළ අතර ඒ සඳහා ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

“නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වීමට මගේ කිසිදු අපේක්ෂාවක් නැහැ. වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අමාරු අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් කරගෙන යනවා.”

මේ නිසා වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ආචාර්ය කුමාරස්වාමි මහතාගෙන් ලැබී ඇත්තේ හොඳම සහතිකයකි. ඔහු පැමිණ මෙතෙක් කළ කාර්යභාරය ගැන මහජනතාව තුළ ද ප්‍රසාදයක් ඇතිව තිබේ. මේ නිසා රජයත් මහ බැංකුවත් එක්ව දුකට පත්ව සිටින මහජනයාටත් සහනයක් ඇති වෙන පරිදි මේ ආර්ථික අගාධයෙන් රට මුදා ගත යුතු අතර ඒ සඳහා සියලු දෙනාගේ සහාය සහ දායකත්වය අවශ්‍ය වනු ඇත. එහිදී තවදුරටත් වැරදි ආර්ථික තීරණ ගැනීමෙන් වැළකී සිටින ලෙස අපි රජයට සහ සියලු ආර්ථික බලධාරීන්ට සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment