රාජ්‍ය බුද්ධි අංශ දුන් තොරතුරු මත ඒකාබද්ධව පියවර ගත්තේ නම් පාස්කු ප‍්‍රහරය වළක්වාගත හැකිව තිබුණා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

562

රාජ්‍ය බුද්ධි අංශය විසින් 2019.04.09 වැනි දින ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියා වෙත යොමුකර තිබූ පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් තොරතුරු සියලූ වගකිවයුතු අංශ ඒකාබද්ධව සාකච්ඡුා කොට කඩිනම් පියවර ගත්තේ නම් එකී ප‍්‍රහාර මාලාව බොහෝදුරට වළක්වා ගැනීමේ හැකියාව තිබූ බව තමන් විශ්වාස කරන්නේ යැයි බස්නාහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (18 දා) කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

එවකට රට තුළ පැවැති වාතාවරණය අනුව එම බුද්ධි තොරතුරුත් ඉහළ සිට පහළට යොමු කරන තවත් එක් බුද්ධි තොරතුරක් බවට පත්ව තිබුණේ යැයිද එවකට බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මුස්ලිම් අන්තවාදීන් විසින් 2019.04.21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමෙන් රාජකාරි වගකීම් පැහැර හැරීම ඇතුළු අධිචෝදනා 855ක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඞ් ඉර්සදීන් යන විශේෂ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී ඊයේ (18 දා) පෙරවරුවේ කැඳවිණි.

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බුද්ධි තොරතුරක් ලැබුණ විට එහි අවසාන ප‍්‍රතිඵලය විය යුත්තේ එකී තර්ජනය මැඬ පැවැත්වීම බව තමා පිළිගන්නේ යැයිද එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා නැඟූ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් දේශබන්දු තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේය.

අපේ‍්‍රල් 21 වැනිදා නිශ්චිතවම ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට කිසිදු ජාතික බුද්ධි අංශයක් විසින් බුද්ධි තොරතුරක් ලබාදී නොතිබූ බවත් එලෙස නිශ්චිතව ප‍්‍රහාරයක් එල්ල වන බවට හා නිශ්චිත දිනයක් එකී බුද්ධි තොරතුරේ අන්තර්ගත වූයේ නම් හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ සහරාන් හෂීම් ඇතුළු සැකකරුවන් හයදෙනාගේ ඡුායාරූප ලබාදී තිබුණේ නම් වඩා විධිමත්ව කටයුතු කිරීමේ හැකියාව සිය නිලධාරීන්ට තිබූ බවද දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

නිශ්චිත දිනයක් හෝ ප‍්‍රහාර එල්ලවීමේ හැකියාව ලැබී නොමැති නමුත් ප‍්‍රහාරය එල්ලවීමේ තර්ජනය ඔස්සේ දැඩි අවධානය යොමුකර කටයුතු කිරීමේ හැකියාව නොතිබුණේදැයි එහිදී විනිසුරු මඬුල්ල සාක්‍ෂිකරුගෙන් විමසා සිටියහ.

එවැනි බුද්ධි තොරතුරු දෛනිකව ලැබෙනා බැවින් හා ප‍්‍රහාර එල්ල වන බවට නිශ්චිත දිනයක් නොමැතිවීම නිසා නිශ්චිත කි‍්‍රයාමාර්ග ගැනීමේ අපහසුතාව පැවැති බවත් විනිසුරු මඬුල්ලේ එකී පැනයට පිළිතුරු ලබාදෙමින් ප‍්‍රකාශ කළ සාක්‍ෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉක්බිතිව එළැඹියේ අවුරුදු සමය වන බැවින් ඒ සම්බන්ධයෙන් පසු විපරමක් කිරීමට ප‍්‍රමාණවත් කාලයක් නොතිබූ බවද ප‍්‍රකාශ කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විසින් එවන ලද එකී බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා ගැනීමට උත්සාහ කළේදැයි එහිදී අධිකරණය ඇසූ පැනයට පිළිතුරු දුන් සාක්‍ෂිකරු නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ තමා යටතේ බුද්ධි අංශ නොතිබූ බවද ප‍්‍රකාශ කළේය. තමන් යටතේ බුද්ධි අංශයක් නොමැති බැවින් ලැබුණු බුද්ධි තොරතුරු ගැන නොසොයා නිහඬව සිටීමේ හැකියාවක් වසර ගණනාවක් නියෝජ්‍ය පොලිස්පති ධුරයක් දැරූ පළපුරුදු නිලධාරියකු වන සාක්‍ෂිකරුට ඇතිදැයි විනිසුරු මඬුල්ල එහිදී සාක්‍ෂිකරුගෙන් නැවත විමසා සිටියේය.

ප‍්‍රහාර එල්ල විය හැකි නිශ්චිත දිනයක් එම බුද්ධි තොරතුරේ නොමැතිවීම නිසා ක්‍ෂණිකව කි‍්‍රයාකිරීමේ හැකියාවක් නොතිබූ බවද සාක්‍ෂිකරු එම පැනයට පිළිතුරු දෙමින් ප‍්‍රකාශ කළේය. එකී බුද්ධි තොරතුර දැඩි රහසිගත බුද්ධි තොරතුරක් ලෙසින් තමා වෙත එවා තිබූ බවත් මහජනතාවට ඒ පිළිබඳව

දැනගැනීමට ඉඩ නොතබා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එවූ එම තොරතුර දැනුම් දී තිබූ බවද සාක්‍ෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

වැඩිදුර සාක්‍ෂි විභාගය අද (19දා) පෙ.ව. 9.30 දක්වා කල්තැබිණි.

රජයෙ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දමිතිනි ද සිල්වා මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ නිර්මාල් කොඩිතුවක්කු, නීතිඥ ආර්. අබේනායක මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment