රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස 65 කෙරේ

794

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වසර 05 කදී හිමිවන විශ‍්‍රාම වැටුප් හිමිකම වසර 10 ක් දක්වා දීර්ඝ කරන බවත් ජනාධිපති ධුරයට ද එය අදාළ කිරීමට අවශ්‍ය නීති සකසන බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (12 දා* පස්වරුවේ සිය මංගල අයවැය කතාව සිදුකරමින් ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය සේවක විශ‍්‍රාම වයස 65 කෙරේ

මේ අතර ගුරු, විදුහල්පති වැටුප් විෂමතාවය විසඳීම සඳහා දැනට ලබාදෙන මුදලට අමතරව රුපියල් මිලියන 30000 ක් ලබා දීමටත්, දැනට අභ්‍යාසලාභී ලෙස බඳවා ගෙන සිටින උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ප‍්‍රදානය කිරීමට ද කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මෙරට 76 වැනි අයවැය ලේඛනය ලෙස ද, වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරු 2.03 ට පමණ සිය මංගල කතාව ආරම්භ කළේය. පාර්ලිමේන්තුව ඊයේ පස්වරු 02.00 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව රැුස්විණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරු ඒ වනවිට පාර්ලිමේන්තු සභා ගැබෙහි අසුන් ගෙන සිටියහ.

 කෙසේ වෙතත් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අයවැය කතාව ආරම්භ කරන විට තරමක අඩු සහභාගිත්වයක් දක්නට ලැබිණි. අයවැය කතාව ආරම්භ කරන විට විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස, එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහත්වරු සිය ආසනවල සිටිනු දක්නට නොලැබුණු නමුත් අයවැය කතාව ආරම්භ වී විනාඩි කිහිපයකට පසුව ඔවුහු පැමිණියහ.

 හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ද පැමිණියේ තරමක් ප‍්‍රමාද වීය.

 බැසිල් රාජපක්ෂ මහතා පස්වරු 2.02 ට පමණ ලීමය නිමාවකින් යුතු රහස් පෙට්ටියක දමා ගෙන පැමිණි අයවැය ලේඛනය ඉබි යතුරු ඉවත් කරමින් කියවීම ආරම්භ කළේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් සිය මේස මතට තට්ටු කරමින් සුබ පැතුම් පිරිනමන මධ්‍යයේය.

 අයවැය කතාව ආරම්භ කරන විටදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභා ගැබට පිවිසි අතර ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රහු ජයවේවා යැයි කියමින් ජනාධිපතිවරයා පිළිගත්හ.

 අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර විපක්ෂ මන්තී‍්‍රන්ගෙන් ඊට බාධා එල්ල වූයේ නැත.

 කෙසේ වෙතත් මුදල් ඇමැතිවරයා විපක්ෂ මන්තී‍්‍රවරුන්ගේ ද අදහස් විමසමින් සිය කතාව අසුනෙන් නැඟිට කියවූ අතර පසුව හිඳගෙන මද විවේකයක් ද ගනිමින් කිසිදු හදිසියකින් තොරව පැය දෙකකට වැඩි කාලයක් කියවීය. හෙතෙම සවස 4.35 පමණ දක්වා එම ලේඛනය කියවූ අතර ඉතිරි ප‍්‍රතිපත්තිමය කාරණා සභාගත කරන බව ද සඳහන් කළේය. එහිදී බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය කතාවෙන් ඉදිරි වසර (2022* සඳහා යෝජනා ඉදිරිපත් කළ අතර මෙය අප රට මුහුණ දෙනු ලබන දරුණුම අභියෝග සහිත කාලයක් යැයි සඳහන් කළේය.

 ඒ අනුව මේ වසර වනවිට කොවිඞ් වසංගතය හේතුවෙන් මෙම වසරේ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 500 කට අධික ආදායමක් අහිමි වී ඇතැයි කීය.

 කෙසේ වෙතත් කොවිඞ් සහ දැනට පවතින ණය තත්ත්වය සමනය කර ගැනීමට ශක්තිය ආණ්ඩුව සතු බවත් ඒ සඳහා විවිධ සහන ලබාදුන් බවත් මුදල් ඇමැතිවරයා විස්තර කළේය.

 හරිත ආර්ථිකයක් කරා යන ගමනේදී රසායනික පොහොර භාවිතය අවම කරමින් කාබනික පොහොර යෙදවීම දිරිගැන්වීම මෙන්ම පුනර්ජනනීය බලශක්තිය නිපදවීම, කිරි, සීනි, ඖෂධ රටේ ප‍්‍රබල ආනයන ආදේශන කර්මාන්ත කළ බවට පැවසීය. මෙහිදී අයවැය ලේඛනය සම්මත කළ පසු මුදල් අමාත්‍යාංශය මින් ඉදිරියට රාජ්‍ය ආයතනවලට මුදල් වියදම් කිරීමට දෙන විවෘත බලය කාර්තුවෙන් කාර්තුවට ලබා දෙන බව කීය. පාඩු ලබන රාජ්‍ය ආයතන උපාය මාර්ගික සැලසුමකට ලක් කරන බව ද පැවසීය.

 ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මසකට ඉන්ධන සහනය ලීටර් 05 කින් අඩු කිරීමටත්, නව ගොඩනැඟිලි, කාර්යාල ඉදිකිරීම නැවැත්වීම මෙන්ම රාජ්‍ය ආයතනවල දුරකථන වියදම් සියයට 25 කින් අඩු කිරීමට ද යෝජනා කළේය.

 රාජ්‍ය නිලධාරීන්ට නව වැටුප් ව්‍යුහයක් සකස් කිරීම, රාජ්‍ය සේවකයින්ගේ විශ‍්‍රාම වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම, සමෘද්ධි ව්‍යාපාරය ග‍්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරීම, රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩුව අවම කිරීම, රටටම වේගවත් අන්තර්ජාල පහසුකම් වර්ධනය, තී‍්‍රවිල් රථ ව්‍යාපාරය නියාමනයට, කොමිෂන් සභාවක් පිහිටුවීම, විශ‍්‍රාම වැටුප් නොලබන විශ‍්‍රාමිකයන්ට විශ‍්‍රාම වැටුපක් දීමට මිලියන 1000 ක් වෙන් කිරීම. නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී පළමු වසර බදුවලින් නිදහස් කිරීම, ඖෂධ මිල පාලනයට යාන්ත‍්‍රණයක් සැකසීම, මන්තී‍්‍ර විමධ්‍යගත අරමුදල මන්තී‍්‍රවරයකුට මිලියන 05 කින් වැඩි කිරීම, කොවිඞ් නිසා කඩා වැටුණු පෞද්ගලික බස් කර්මාන්තය නැවත නඟාසිටුවීමට රුපියල් මිලියන 1500 ක් සහ ති‍්‍රරෝද රථ ව්‍යාපාරයට රුපියල් මිලියන 700 ක් වෙන් කිරීම, විවිධ කාලවලදී අතුරුදන්වූවන්ගේ පවුල්වලට වන්දි ලබාදීමටත් යෝජනා ඉදිරිපත් විණ.

 මේ අතර සිගරට්ටුවක මිල වහාම කි‍්‍රයාත්මක පරිදි රුපියල් 05 කින් වැඩි කිරීමටත් මත්පැන් බද්ද වහාම වැඩි කිරීමටත්, මෝටර් රථ අනතුරුවලට වගකිවයුත්තන්ගෙන් ගාස්තුවක් අය කර ගැනීම ඇතුළු යෝජනා ඉදිරිපත් කරමින් බැසිල් රාජපක්ෂ මහතා සිය අයවැය යෝජනා ලේඛනය ඉදිරිපත් කළේය.

 පිටු 80 කින් සමන්විත වූ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයවැය, ‘‘ධර්මේ, කාසීම්, රාජසුන්දරම්, මෙහෙ වරෙල්ලා…. අපි ඔක්කොම එකතුවෙලා මේ ලෝකය යහපත් තැනක් කරමු මීට වැඩිය ලෙස සඳහන් කරමින් අවසන් කර තිබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment