රාජිතගේ විරෝධය ප්‍රතික්ෂේප වෙයි

975

‘සුදු වෑන්’ භාවිතා කරමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ඊයේ (07දා) ප්‍රතික්‍ෂේප කරන ලදී.

නීතිපතිවරයා විසින් තමන් ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස වර්තමාන ජනාධිපතිවරයා නම් කොට නොමැති බැවින් එකී නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවට වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කොට තිබිණි. එම මූලික විරෝධතාවය කිසිදු පදනමක් නොමැති විරෝධතාවයක් වන බැවින් එය ප්‍රතික්‍ෂේප කොට නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙස පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නඩු විභාගය ලබන ජූලි 18 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් එහි නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයන්ත ලාල් මහතා පෙනී සිටියේය.

2019.11.10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වෙස් මාරුකරගත් පුද්ගලයන් දෙදෙනකු යොදවා කළ අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතිපතිවරයා විසින් රාජිත සේනාරත්න හා මොහොමඩ් රූම් යන විත්තිකරුවන්ට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment