රාළහාමිලා කපා කොටා දමා පැන යන්න හැදූ කුඩු ජාවාරමා මාට්ටු

1370

මෝදර ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තියුණු ආයුධයකින් කපා බරපතළ තුවාල සිදුකර පලා යෑමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු එම නිලධාරීන් දෙදෙනා විසින් දැඩි වෙහෙසක් දරා අත්අඩංගුවට ගෙන ඇත.

පෙරේදා (16 වැනිදා) අලූයම සිදු වූ මෙම ප‍්‍රහාරයෙන් එක් නිලධාරියකුගේ ගෙල ප‍්‍රදේශය දරුණු කැපුම් තුවාලයකට ලක්ව ඇති අතර අනෙක් නිලධාරියාටද කැපුම් තුවාල කීපයක් සිදුවී තිබේ. එම නිලධාරීහු දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

මෝදර පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරුන් වන (71099) එරන්ද සහ (21986) ප‍්‍රියශාන්ත යන නිලධාරීන් දෙදෙනා රාත‍්‍රී මුර සංචාරයේ යෙදී සිටියදී සැකකටයුතු පුද්ගලයකු පරීක්‍ෂා කර ඇත.

ඒ අවස්ථාවේ එම සැකකරු ස`ගවාගෙන සිටි තියුණු ආයුධයකින් පොලිස් නිලධාරියකුගේ ගෙල කපා ඇති අතර අනෙක් නිලධාරියාටද පහරදී කපා කොටා තුවාල කර පලායෑමට උත්සාහ කර තිබේ.

එහෙත් බරපතළ තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා සැකරකැගේ එක් අතකට විලංගුවක් දමා එම සැකකරු ඇදගෙන ගොස් මාර්ගය අසල තිබූ යකඩ වැටකට අනෙක් විලංගුව දමා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය දැනුම් දීමෙන් පසු වහා ක‍්‍රියාත්මක වූ මෝදර පොලිසියේ නිලධාරීන් එහි පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන බරපතළ තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහල්ගත කිරීමට කටුතු කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු හෙරොයින් ජාවාරම්, ගෙවල් බිඳුම්වලට සම්බන්ධ පුද්ගලයකු වන අතර මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවද පොලිසිය පවසයි.

බරපතළ කැපුම් තුවාල සහිතව සිටියදීත් අපරාධකරුට පලායෑමට ඉඩ නොදී ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ මෙම නිර්භීත පොලිස් නිලධාරීන් දෙදෙනාට පොලිස්පති ප‍්‍රශංසා සහ ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කරගෙන යන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment