රැකියාව හා වගකීම

910

උපරිමාධිකරණ විනිසුරුවරුන් වැඩි කිරීමේ අවසාන ඵලය රටේ බදු ගෙවන ජනතාවට දැනිය යුතු බවත් එසේ නොවුණහොත් එය හුදෙක් රැකියා ලබා දීමක් පමණක් වනු ඇති බවත් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසන්නේය. අපරාධ නීතිය පිළිබඳ ග‍්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සව සභාවකට එක්වෙමින් එසේ සඳහන් කර ඇති ඇමැතිවරයා පාර්ලිමේන්තුවට නැවත වතාවක් යෑමට අදහසක් නැති බවද සුපුරුදු නීතිඥ වෘත්තියට ඉදිරියේදී නැවතත් පැමිණෙන බවද පෙන්වාදී ඇත්තේය.

දාන ගෙයකට වේවා මළ ගෙයකට වේවා සහභාගි වන දේශපාලනඥයෙක් දේශපාලනය කතා කිරීම අරුමයක් නොවන්නේය. ඇමැතිවරයෙක් නම් තවත් එහාට ගොස් තමන්ගේ අමාත්‍යාංශය ගැන සම්බන්ධිත ආයතන ගැන විවිධාකාරයේ කතා පවත්වන්නේය. අධිකරණ ඇමැතිවරයා එක් වී ඇත්තේ පොතක් දොරට වැඞීමේ උත්සවයකට ය. එහිදී ඒ මහතාගේ කතාව මෙරට සමාජ දේහය රඳවා තබාගෙන ඇති කුලූනු තුනෙන් දෙකක ඇතුළාන්තයන් පිළිබඳව සැඟවුණු සිතුවිලි මතුකරන්නට සමත් වී ඇත්තේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එකොළොස් (11) දෙනෙකුගෙන් සමන්විත වූ විනිසුරු සංයුතිය දාහත් (17) දෙනකු දක්වා ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් දොළහේ (12) සිට විස්ස (20) දක්වා ද වැඩි කිරීමක් සිදු කර ඇත. ඒ වසර 42 කට පසුවය. 1978 දී සම්මත කර ගන්නට යෙදුනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පිහිටුවන්නට වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ ආරම්භක විනිසුරු සංයුතියේ වැඩිකිරීමක් සඳහා වසර 42 කට ආසන්න කාලයක් ගතවී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කටයුත්තකට සම්බන්ධ වන පුද්ගලයකුට එම නඩු විභාගයන්ට සම්බන්ධ වීමට හැකි වන්නේ වසරකට දෙවරක් පමණි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කැඳවීම්වලට දින ලබාදීමක් වන්නේ මාස හයෙන් හයට වීමය. සාමාන්‍යයෙන් නඩු වාර දහයක් කැඳවූයේ නම් ඒ සඳහා වසර පහක් ගත වන්නේය. මෙම වසර පහ තුළදී සිදුව ඇත්තේ එම නඩුවේ විමසීමක් පමණක් වුව සිදුවිය හැක. වසර පහක් තුළ වාර දහයක් කැඳවනු ලැබූ නඩුව කල් යෑම කල් මැරීමක්ම වන්නේය. පැමිණිල්ලේ නීතිඥ මහතා

සිටිනදාට විත්තියේ නීතිඥ මහතා නැත. විත්තියේ නීතිඥ මහතා සිටිනදාට පැමිණිල්ලේ නීතිඥ මහතා නැත. දෙපාර්ශ්වයේම නීතිඥ මහතුන් දෙදෙනා සිටිනදාට විනිසුරු මඬුල්ලේ විනිසුරු මහතෙකු නැත්තේය.

රටේ ජනගහන වර්ධනයත් සමග අන් ක්‍ෂේත‍්‍රයන්වල සේම විනිසුරුවරුන්ගේ ද වැඩි කිරීමක් අනිවාර්ය බවට විවාදයක් අවශ්‍ය නැත. මන්ද ජනගහනයේ වැඩිවීමත් සමග ඔවුන්ගේ නඩු හබ ඉහළ යෑමත් ඒ හා සමානව සිදුවන්නකි. ජනගහනයට සාපේක්‍ෂව රටවල සිටින විනිසුරුවරුන් පිළිබඳව සොයා බලන විටදී තායිලන්තය – මැලේසියාව ආදී මධ්‍යම අර්ථ ක‍්‍රමයක් සහිත රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 60 දෙනෙකු ද ඉන්දියාවේ 20 දෙනකු ද සිටින විටදී ශී‍්‍ර ලංකාවේ සිටින්නේ 15 දෙනකු බව කියැවේ. ඒ අනුවම අප රටේ යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාවලියේ ඇති අර්බුදකාරිත්වය පැහැදිලි වන්නේය. අධිකරණ රෙජිස්ට‍්‍රාර් කාර්යාලවල රාක්ක පුරා ගොඩ ගැසෙන නඩු ගොනුවල අමුණා ඇති කඩදාසි ගැලවී දියවී යන්නට පෙර තීන්දුවක් තීරණයක් ලබාදීම ඊට සම්බන්ධිත සියලූ දෙනාගේ වගකීමක් යුතුකමක් වන්නේය. මන්ද මේ සෑම නඩු ගොනුවක් සමගම මේ රටේ ජීවිතයක් හෝ ජීවිත කීපයක් බැඳී තිබීමයි.

ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාත්මකව වැඩි කිරීමේ ඵලය රටේ ප‍්‍රධාන පුරවැසියාගේ සිට අන්තිමයා ලෙස ගැනෙන පුරවැසියා දක්වා දැනිය යුත්තක්ම වන්නේය. එහිදී එම ධුරවලට පත්වී අසුන් ගන්නා පුද්ගලයන්ගේ අත්දැකීම් හා පළපුරුදුවලට අමතරව පෞරුෂත්වය හේතු වන බව නොකියමනා ය. රටේ හඬක් නැගිය නොහැකි නීතිගරුක ලෙසින් ජීවත් වන පුරවැසියන්ට ඇති එකම පිළිසරණ අධිකරණයයි. විධායකයෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ සම්බන්ධිත ආයතනයකින් හෝ සිදුවන කටයුත්තකදී හෝ අසාධාරණයකදී ඕනෑම පුරවැසියකු පිහිටක් පතා යන්නේ අධිකරණය හමුවට ය. එහිදී එම පුද්ගලයන් අභිමුවෙහි අසුන් අරා සිටින මනුෂ්‍ය රූපකායන් වෙතින් පෙන්නුම් කරන යුක්තිය පසිඳලීමේ සාධාරණත්වය ගැන තර්කයක් සංවාදයක් අවශ්‍ය නොවන්නේ ය. විනිසුරුවරුන් පත්කිරීම රජයේ වෙනත් ආයතන විෂයෙහි ප‍්‍රධානීන් පත් කිරීමක් සමග කිසිසේත් සම කළ නොහැකි වන්නේ එනිසා ය. මැතිවරණවලදී නොයෙක් සංවාද සම්මන්ත‍්‍රණ මගින් බලයට පත්වන රජයට සහාය දැක්වූවන් සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් ලෙස පත්කරන්නා මෙන් අධිකරණ විනිසුරුවරුන් පත් කළ නොහැකිය. එසේ පත් කළ අවස්ථා ද නැතිවා නොවේ. එසේ පත් කිරීම් කළ නොහැකි ධුරවලට පත් වූවන් එම ධුරයන්ගේ වගකීම් හා යුතුකම් මනා ලෙස වටහාගෙන සේවයේ යෙදීම ඔවුන් සතු කාර්යයක්ම වන්නේය. එසේ නොවුණහොත් අධිකරණ ඇමැතිවරයා කියනා ලෙසින් විනිසුරුවන් පත්කිරීම ද තවත් රැකියා ලබාදීමක්ම පමණක් වන්නේය.

කීර්තිමත් ලෙසින් නීතිඥ වෘත්තියේ යෙදුනු අලි සබ්රි මහතාගේ එම කීර්තිමත්භාවයම දේශපාලනයට ඒමට මනා පිටිවහලක් ගෙන දුන්නේය. සබ්රි මහතා රාජපක්‍ෂ පවුල හා ඇති ඇයි හොඳැයිය අධිකරණයන්වල ඔවුන්ට එරෙහි නඩු විභාගවලට පෙනී සිටීමෙන් පෙන්නුම් කළේය. වෘත්තීයවේදියෙක් ලෙසින් නමක් දිනා සිටි අලි සබ්රි මහතා දේශපාලනයට ප‍්‍රවිෂ්ට වීමත් අධිකරණ ඇමැතිකම ලබාගැනීමත් පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වූයේ විවිධ ලෙසින්ය. ඒ සමාජයේ හැටිය. මේ සබ්රි මහතාගේ හැටිය. එනම් පැමිණි මුල් අවස්ථාවෙන්ම දේශපාලනයෙන් කලකිරී ඇත්තේය. යළි සුපුරුදු වෘත්තියට පිවිසීමට අදහස් කර ඇත්තේය. දේශපාලනයේ තරම් බෙලි කැපිලි, බ්ලේඞ් තල ඇදිලි, කකුලෙන් ඇදීම් වෙන කිසිදු ක්‍ෂේත‍්‍රයක නැත. මේ සියල්ලට මුහුණ දී ජනතා සේවයට කැප වීමට නොහැකි අමාරු අය දේශපාලනයට නොපැමිණිය යුතුය. සබ්රි මහතා සිටින්නේ කොතැන දැයි අපි නොදනිමු.

ඒවගේම සබ්රි මහතා වැනි වෘත්තීය නිපුණයන් නොමැති වූ විට මැති සබය මාල හොරුන්ටත්, හොරණෑකරුවන්ටත් සින්න වී උරුම වීම වැළැක්විය නොහැකි වන්නේය. එහිදී උගතුන්ට බුද්ධිමතුන්ට දේශපාලනයේ තැනක් නැතැයි කියා ආඩපාලි කියා වැඩක් නැත.

advertistmentadvertistment
advertistmentadvertistment