රැකියා – ආයෝජන – සංචාරක ක්‍ෂේත්‍ර සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්

120

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළැඹ තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී Awaji Island ys Wave Riding Festival රඟහලේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම ගිවිසුම අත්සන් කර තිබේ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට අපේක්‍ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බඳවාගැනීම් සඳහා පැසෝනා සමූහය සිය සහාය ලබාදෙයි. ඊට අමතරව ජපානයේ රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට පැසෝනා සමූහය කටයුතු කරයි. මෙම ගිවිසුම අනුව ජපන් ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා පැසෝනා සමූහය විසින් ආයෝජන, සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට නියමිතය.

නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ස්ථාවර රටක් ගොඩනැඟීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවත් අවබෝධතා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. මෙම අර්බුදය රටේ ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්‍ෂ්‍යයක් බවත්, මෙවැනි අර්බුද යළිත් ඇති නොවීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදුකරමින් තිබෙන බවත් පැවසූ අමාත්‍යවරයා කාර්යක්‍ෂම ශ්‍රම බළකායක් වර්ධනය කිරීම සඳහා ජපානය ඇතුළු ලොව පුරා ප්‍රශස්ත භාවිතාවන් අධ්‍යයනය කරමින් ශ්‍රමිකයන්ට නම්‍යශීලීව, අර්ධකාලීන සහ බහුවිධ රැකියා කිරීමට අවස්ථාව ලබාදෙන බවත් කීවේය.

මෙම අවස්ථාව සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ උපදේශක ශාන් යහම්පත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්‍ෂ නීතිඥ සමින්ද ජයසේකර, ජපන් – ශ්‍රී ලංකා රැකියා සම්බන්ධයෙන් වන විශේෂ නියෝජිත ආචාර්ය රුවන් පෙරේරා යන මහත්වරු ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment