රැජනගේ අවමංගල්‍ය උත්සවය අද  

226

බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබත් රැජනගේ අවමංගල උත්සවය හෙට (19 දා) රාජ්‍ය ගෞරව සහිතව ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්වේ.

අවමංගල්‍ය උත්සවය පෙරවරු 11ට ආරම්භ වී 12ට අවසන් වේ. ලොව පුරා බිලියන 4.1ක ජනතාවක් මෙම අවමංගල්‍ය නරඹන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටී.

ඇමරිකානු ජනපති ජෝ බයිඩන්, ජපානයේ නරාගිතෝ අධිරාජයා, බෙල්ජියමේ පිලිප්පේ රජු සහ මැටිල්ඩා රැජින, ස්පාඤ්ඤයේ පෙලියෝ රජු සහ ලාඕෂියා රැජින, යුරෝපා සංගමයේ ප්‍රධානි උර්පුලා වැන්ටෙන් ඇතුළු රාජ්‍ය නායක නායිකාවන් සහ ප්‍රභූන් 2000ක් සහභාගි වන එලිසබත් රැජිනගේ අවමංගල්‍ය සඳහා මෙතෙක් බ්‍රිතාන්‍යය තුළ දියත් වූ විශාලතම ආරක්ෂක වැඩපිළිවෙළ වූ ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ් මෙහෙයුම දියත් වී ඇත.

අවමගුල් උළෙල මෙහෙයවනු ලබන්නේ කැන්ටබරියේ අගරදගුරුතුමා වූ වෙල්බිසි විසිනි.

එලිසබත් රැජනගේ දේහය ශුද්ධ වූ ජොර්ජ් දෙව්මැඳුරේ ඇති රාජකීය සොහොන් ගැබේ තැන්පත් කෙරෙනු ඇත.

බ්‍රිතාන්‍යයේ අගමැති වින්සන්ට් චර්චිල්ගේ රාජ්‍ය අවමගුල් උතසවයෙන් පසු බ්‍රිතාන්‍ය තුළ පැවැත්වෙන විශාලතම රාජ්‍ය අවමගුල මෙයයි.

ලෝක ඉතිහාසයේ මුල්වරට රූපවාහිනි සේවා 1000කට අධික සංඛ්‍යාවක් සජීවී ලෙස විකාශනය කරන මුල්ම රාජ්‍ය අවමගුල මෙයයි. වෙස්මිනිස්ටර් ශාලාවේ පැවැත්වෙන අවමගුල් උත්සවයෙන් පසු පවුලේ අයගේ අවමගුල් උත්සවයක් ද පැවැත්වේ.

එලිසබත් රැජනගේ දේහය ශුද්ධ වූ ජෝර්ජ් දෙව්මැඳුරේ තැන්පත් කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 4ට බව බ්‍රිතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම රාජ්‍ය අවමඟුලට සහභාගි වෙයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment