රැජන සමුගනී නව රජු චාල්ස්

258

පුරා දශක 7ක කාලයක් තිස්සේ එක්සත් රාජධානියේ මහ රැජන වූ දෙවන එළිසබත් රැජන පෙරේදා (08 වැනිදා) අභාවප්‍රාප්ත වූවාය. එක්සත් රාජධානිය වැඩිම කාලයක් පාලනය කළ රාජ්‍ය නායිකාව වූ එළිසබත් රැජන මියයන විට 96 වැනි වියේ පසු වූවාය. දින කීපයක් තිස්සේ රෝගී තත්ත්වයෙන් පසු වූ මහ රැජන අභාවප්‍රාප්ත වූයේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගාවේදීය.

මිය යෑමට පැය 72කට පෙර ඇගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් අයහපත් වූ බවත්, ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි තත්ත්වයක පසු වන බවත් රාජකීය වෛද්‍යවරුන් ප්‍රකාශකර තිබිණි. එළිසබෙත් රැජන අභාවප්‍රාප්ත වීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස තුන්වන චාල්ස් කුමරු පත්කරනු ලැබීය.

එළිසබත් රැජනගේ අවමංගල්‍යලොත්සවය පිළිබඳ මෙහෙයුම ‘ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්’ ලෙස හඳුන්වන අතර චාල්ස් රජුගේ උපදෙස් මත එම උත්සවය සංවිධානය කරනු ලබයි.

ලබන 19 වැනිදා මෙම අවමංගල්‍යලෝත්සවය සිදුකිරීමට නියමිතව ඇති අතර එය රාජකීය මට්ටමෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ මනා සෞඛ්‍ය තත්ත්වය යටතේ රාජ්‍ය පාලනය කරගෙන ගිය ද දෙවන එළිසබත් රැජන පසුගිය 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිය සැමියා වූ පිලිප් කුමරු මිය යෑමෙන් පසු අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඇය ජීවිතයේ පළමු වතාවට ගමන් බිමන් යෑම සඳහා හැරමිටියක් පාවිච්චි කළා ය. ඒ අතර ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ පැවැති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වූ එළිසබත් රැජන උතුරු අයර්ලන්තයේ සංචාරයක ද නිරත වූවාය.

ඒ අතර ඇගේ පාදයේ අස්ථිවල පටක ආසාධනය වීමේ රෝගී තත්ත්වයක් ඇති වී තිබිණි.

ඉකුත් පෙබරවාරියේ බ්‍රි‍තාන්‍යයේ වින්සර් මාලිගයේදී සිදුකළ කොවිඩ් පරීක්‍ෂණයේදී මහ රැජනට කොවිඩ් ආසාදනය වී ඇති බව දැන ගන්නට ලැබිණි. එහෙත් එහිදී ඇය කොවිඩ් රෝගී ලක්‍ෂණ පෙන්වනු ලැබුවේ ඉතාම අල්ප වශයෙනි. ඇයට සුළු සෙම්ප්‍රතිෂ්‍යා තත්ත්වයක් පමණක් ඇති වී තිබිණි. සති තුනකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඇය සුවපත් වූ අතර පසුව ඇය සුපුරුදු රාජකීය පාලන කටයුතුවල නිරත වූවාය.

ඉන් අනතුරුව එළිසබත් රැජන රාජකීය උත්සවවලට සහභාගි වීම ඇය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීමට පටන් ගත්තාය.

මේ වසරේ මැයි මාසයේ පැවැති මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට ද සහභාගි වීමට එළිසබත් රැජනට නොහැකි විය.

ඇය වෙනුවට එම උත්සවයට සහභාගි වූයේ වේල්ස් කුමාරයා සහ කේම්බ්‍රිජ් වංශාධිපති නාමධාරී චාල්ස් කුමාරයා ය.

මේ අතර එළසබත් රැජනගේ රාජාභිෂේකයේ 70 වැනි සැමරුම පසුගිය ජුනි මාසයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුව ද එම උත්සවයට ද සහභාගි වීමට ඇයට නොහැකි විය.

එළිසබත් රැජන මිය යෑමට පැය 48කට පෙර මහත් සේ රෝගී තත්ත්වයට පත් වූ අතර බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීම භාර ගැනීමටවත් ඇයට නොහැකි විය.

නව අගමැති ලෙස ලිස් ට්‍රස් මහත්මිය පත් කිරීමට මහ රැජනට සිදුවූ අතර නව අගමැති හමු වී සාකච්ඡා කිරීමට හැකි වී තිබිණි. මේ අතර සැප්තැම්බර් 7 වැනිදා පැවැති රාජ්‍ය උත්සවයට සහභාගි වීමට එළිසබත් රැජනට හැකි වූයේ නැත.

ඒ නිසා මහ රැජන සුවපත් වනතුරු නව අගමැති පත්වීමේ රාජ්‍ය උත්සවය කල්දැමීමට සිදුවිය.

දෙවන එළිසබත් රැජන අභාවප්‍රාප්ත වූ පුවත සැලවීමත් සමගම මහා බ්‍රිතාන්‍යයේ ජනතාව මෙන්ම ලොව පුරා ජනයා දැඩි කම්පනයට පත්වූහ.

මහ රැජනගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය නායකයෝ, ධනවත්තු, කලාකරුවෝ, ක්‍රීඩකයෝ සහ විශාල පිරිසක් ශෝක ප්‍රකාශ නිකුත් කළහ.

සමාජ ජාලා බෙව් අඩවි සහ ට්විටර් පණිවුඩ ඔස්සේ මහ රැජනගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩ ගලා එන්නට විය.

එළිසබත් රැජන නිල සංචාරයන් සඳහා දෙවරක් ශ්‍රී ලංකාවට පැමිණියා ය. 1954 වර්ෂයේ ඇය පළමුවරට ශ්‍රී ලංකාවේ සංචාරය කළා ය.

අගමැති සර් ජෝන් කොතලාවල මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි එළිසබත් රැජන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කළාය. සීගිරිය, අනුරාධපුරය, මහනුවර, දළදා මාලිගය, පොලොන්නරුව ඇතුළු පුරවිද්‍යා ස්ථාන රැසක සංචාරය කළාය.

ඉන් ඉක්බිතිව ඇය ශ්‍රී ලංකාවට පැමිණියේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා කළ ආරාධනයකට අනුව 1981 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ය.

එම සංචාරයේදී ඇය තම ජන්ම දිනය ශ්‍රී ලංකාවේදී සැමරීමට අමතක නොකළාය. එම සංචාරයේදී බි්‍රතාන්‍ය ආධාර යටතේ ඉදිවෙමින් තිබූ මෙරට ප්‍රධානම ජලවිදුලි බලාගාරය වන මහවැලි ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීමට ද කටයුතු කළාය.

තඹුත්තේගම මහවැලි නගරය විවෘත කිරීම එම සංචරයේදී මහ රැජන විසින් සිදුකෙරිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment