රැජිනගෙන් පසුව සුනඛයන්ගේ අයිතිය කාටද…?

501

දෙවැනි එළිසබෙත් රැජින කෝර්ගීස් වර්ගයේ සුනඛයන්ට දැඩි සේ ඇලුම් කළාය. ඇයට වසර හතක් වැනි කුඩා කාලයේදී ඇගේ මිතුරු සමාජයේ බොහෝ දෙනා සුරතලයට සුනඛයන් ඇති කළ නිසාම එළිසබෙත්ටත් සුරතලකු ලෙසින් සුනඛයකු ඇති කිරීමේ ආසාවක් ඇති විය.

එළිසබෙත්ගේ පියා වූ යෝර්ක්හි ආදිපාදවරයා විසින් “තෙල්මා ග්‍රේ” නැමැති සුනඛ අභිජනන කරන කාන්තාව හමු වී ඇගේ “රොසාවෙල්” අභිජනන මධ්‍යස්ථානයෙන් බලු පැටවකු ලබා ගත්තේය. කෝර්ගි වර්ගයේ මේ සුනඛයන්ගේ විශේෂත්වයක් වූයේ සතුටින් සිටින විට කුඩා වලිගය සොලවා ප්‍රතිචාර දැක්වීමයි. යෝර්ක් ආදිපාදවරයා මෙම සුනඛ පැටවා තෝරා ගන්නා බැව් දැනගත් තෙල්මා මෙම සුනඛයාට “ඩුකී” යැයි නම් තබන ලදී.

ඩුකීගේ හැසිරීම යහපත් වූයේ නැත. රාජකීය සභිකයන් සහ අමුත්තන්ව සපා කෑ නමුත් රැජින විසින් මෙම සුනඛයාගේ ඡායාරූප සමග සිටින දර්ශන නිකුත් කළ නිසා “කෝර්ගි” සුනඛ විශේෂය සමාජයේ ආකර්ශනයට පත් විය.

● ලේඩි ජේන්…

තවත් වසර කීපයකට පසුව තෙල්මාගෙන්ම තවත් සුනඛයෙක් ලබාගත් අතර ඇයට ලේඩි ජේන් යැයි නම් තබන ලදී. 1936 වසරේදී රාජකීය පවුල විසින් “අපේ කුමරියන් සහ ඔවුන්ගේ සුනඛ සුරතලුන්” යැයි කෘතියක් නිකුත් කළ අතර එම කෘතියේදී පෙන්වා දී තිබුණේ රාජකීය පවුල තුළ සුනඛයන්ද එක් මිනිස් පවුලක සාමාජිකයන් ලෙසයි.

● උපන්දින තෑග්ග

ඇගේ 18 වැනි උපන් දිනය දා තෑග්ගක් ලෙසින් ලැබුණේ කෝර්ගි වර්ගයේ සුනඛයෙකි. ඇගේ නම “සුසාන්” ය. එලිසබෙත් රැජින විවාහ ගිවිස ගෙන මධුසමයට යන විටත් රාජකීය අශ්ව කරත්තයේ බුමුතුරුණු යට සඟවා ගෙන සුසාන්ද කැටුව යෑමට අමතක කළේ නැත.

සුසාන්ගෙන් පරම්පරාවක් බිහි කර ගැනීම සඳහා තෙල්මා ගෙන් සහයෝගය ලැබුණි. ඒ නිසා “ලකී ස්ටි්‍රයික්” නැමැති බල්ලා සුසාන්ගේ සහකරු බවට පත් විය. රැජිනගේ ස්වාමිපුරුෂයා වූ පිලිප් කුමරු බිරිඳට මදක් පිටුපසින් ගමන් කරද්දී කෝර්ගින් ඇයට ඉදිරියෙන් ගමන් ගත්තාය.

1952 වසරේ සුසාන් මියගිය අවස්ථාවේදී ඒ වෙනුවෙන් එළිසබෙත් රැජින විසින් සොහොන් ගලක්ද නිර්මාණය කළාය. මගේ සුසාන් අහිමි වෙතැයි මම නිතරම සිටියේ බියෙන්… කොහොම වුණත් ඇය යන්නම ගියා. නමුත් ඇගේ දුක් විඳින ජීවිතය අවසන් වුණා. මට ඒ ගැන සතුටුයි. එලිසබෙත් රැජින සිය සුරතලියගේ සමුගැනීම ගැන එසේ සටහන් තබා තිබේ.

● සුසාන්ගේ වැරදි පවා ඇය සඟවා ගත්තා…

මෙම සුරතල් බැල්ලිය වරක් රාජකීය ඔරලෝසුව වයින් කරන්න සපා කෑවාය. තවත් විටෙක තරුණ මුරකරුවකු සපා කෑවාය. නමුත් ඒ ගැන වචනයකුදු සටහනක තබා නැත. සැන්ඩි්‍රහැම්හි සුරතලුන් භූමදාන කිරීම සඳහා වෙන් කරන ලද සුසාන භූමියේ ඇය මිහිදන් කළාය.

● එතැනින් නැවතුනේ නැත

සුසාන්ගේ මියයෑම සමග එලිසබෙත් රැජින තවත් සුනඛයන් ඇති දැඩි කළාය. අභිජනනයෙන් සුනඛයන් බිහි කළත් ඇය පැටවුන් අලෙවි කළේ නැත. සියල්ලෝම ඇය සමග නවතා ගත්තාය. විටෙක ඥාති හිත මිතුරන්ට තෑගි ලෙසින් ලබා දුන්නාය.

කෝර්ගිස් සුනඛයන් රැජින ගමන් ගත් ස්ථානවලට ගියේ හෙලිකොප්ටර්, දුම්රිය සහ ලිමොසින් රථවලයි. සැන්ඩි්‍රන්හි පැවැති නත්තල් උත්සවවලදී බල්ලන් වෙනුවෙන් තෑගි ලෙස නත්තල් මේස් ලබා දුන් අතර ඒවා රැජින විසින් පිලියෙල විය. බකිංහැම් මාළිගාවේ ඇති කාමර 775 කි. එහෙත් සුනඛයන් නිදාගත්තේ රැජිනගේ පෞද්ගලික වාසස්ථානයේය. එහි කෝර්ගි සුනඛයන් වෙනුවෙන් කුෂන් යොදා සකස් කළ වේවැල් කූඩ තබා තිබුණි.

ඩයනා කුමරිය රජ මාළිගාවේ ඇති දැඩි වුණ සුනඛයන් හඳුන්වා තිබුණේ “සෙලවෙන බුමුතුරුණක්” ලෙසින් වුණත් රැජින මෙම සුනඛයන් හඳුන්වා දී තිබුණේ ඇගේ ගැහැණු ළමයි සහ පිරිමි ළමයින් ලෙසයි. “මෙච්චර බල්ලෝ ගොඩක් මොකටද…? පිලිප් කුමරු පවා රැජිනගෙන් විමසන ලදී.

දැන් ඇය සුරතලුන් තබා නොඑන්නම ගොසින්ය. දැන් මේ සුරතලුන්ගේ රැකවලුන් කවුද…? නමුත් ඇගේ පුත් ඇන්ඩෘ කුමරු සහ ඔහුගේ හිටපු බිරිඳ වන යෝර්ක් ආදිපාදවරිය විසින් මෙම සුරතලුන් රැකබලා ගැනීමට ඉදිරිපත්ව සිටිති.

පුන්‍යා චාන්දනී ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment