රැජිනගේ පළමු ලංකා ගමනේදී ඇයට හමුවූ ඔහු

250

සිදුවීම් නා නා ප්‍රකාර විය හැක. විශේෂයෙන් කුඩා කල සිදුවීම් මැරෙන තුරා මතකයෙන් බැහැර නොවන බව දැනට අවුරුදු 75ක ජීවන යාත්‍රාවේ නියැළෙන මා හට පසක් වූ බව පවසන්නට සුදුසුම අවස්ථාව උදා වූයෙන් මේ තාකඋ් කල්මැරූ මතකය සටහන් කිරීම භාග්‍යයක් සේ සලකමි.

දීර්ඝ කාලයක් රජ කිරුළ දරා රජකම් කළ ඉතිහාසගත උත්තමාවිය වූ 2 වැනි එළිසබෙත් මහ රැජිනගේ අවුරුදු 96 ජන්ම දිනය අප්‍රේල් 19 වැනි දින සැමරූ අවස්ථාවේදී මාගේ කුඩා අවදියේ දී සිට මැරෙන තුරා අමතක කළ නොහැකි ඒ අමරණීය තත්පර කිහිපය නැවත නැවත මතකයේ රඳා පැවතීමට භාග්‍ය උදාකර දුන් ඒ උත්තමාවියට ‘සුභ උපන් දිනයක් වේවා’ කියා ප්‍රාර්ථනා කරන අතරතුර එතුමියට ගෞරවයක් වශයෙන් මෙසේ ලියා සිටිමි.

1954 වර්ෂයේදී ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමාගේ පාලන කාලයේදී 2 වැනි එළිසබෙත් මහ රැජිනගේ පළමු ලංකා සංචාරයේදී කොළඹ නගරය අවට සැරිසැරීමේ එක් අවස්ථාවක් වූයේ කොළඹ 3, කොල්ලුපිටියේ ‘ගල් පල්ලිය’ නමින් ප්‍රසිද්ධ එංගලන්ත සභාව අයත් ‘සාන්ත මයිකල් දේවස්ථානයේ’ දේව මෙහෙයට සහභාගි වීමයි.

රැජිනගේ පළමු ලංකා ගමනේදී ඇයට හමුවූ ඔහු

එතුමිය පිළිගැනීමට වයස අවුරුදු 7ක් වූ මා ‘සාන්ත මයිකල් පාසලේ ඉගෙනුම ලබමින් පන්තියේ කුඩාම ශිෂ්‍යයා (හුරුබුහුටි) වශයෙන් සිටි නිසා මගේ පන්තිය භාර ඉංග්‍රීසි ගුරුවරිය වූ ‘ගුණතිලක ගුරු මෑණියෝ’ විසින් දේවස්ථානයේ ඇතුළට පිවිසෙන පඩිපෙළේ පහළ සිට ඉහළට ශිෂ්‍යයන් පෙළ ගැස්සූ අතර ඉහළම පඩියේ සිටි මා හට උදාවූ ඒ වාසනාව කෙසේදැයි පවසනවා නම් පඩිපෙළේ ඉහළට නැගී ආ මහ රැජිනගේ සුදු අත් වැසුම් ලාගත් දකුණතින් මගේ ‘ඔළුව’ තත්පර කිහිපයකට පිරිමැද, නිකට ද අල්ලා වූ දැක්වූ ඒ සිනාමුසු මුව මඬල මතකයට එන සෑම අවස්ථාවකදීම, අමුතු චිත්ත ධෛර්යයක් හා ආත්ම විශ්වාසයක් උද්දීපනය වන නිසා කලකිරීමක් හෝ කිසිදු පසුබෑමක් නොවන බව පවසන්නේ අවංකවමය.

මගේ ජීවිතයේ දෙමව්පියන්ගේ ආදරය, කරුණාවට අමතරව පිටස්තර අයෙකුගෙන් ලැබුණු ඒ ‘තත්පර පිරිමැදීම හා ඇල්ලීම’ කෙනෙකුට පවසන අවස්ථාවකදී නෙතට කඳුළු එන්නේ නිරායාසයෙනි.

දෛවයේ හාස්කම කෙසේ වීද යත්, වර්ෂ 1974 සිට වර්ෂ 2001 වන තෙක් පිටරට නැව් සමාගම් වාණිජ නාවික සේවයේ යෙදුණු මා හට එංගලන්තයට යෑමට අවස්ථා කිහිපයක් උදාවූ හෙයින් ‘බකිංහැම් මාළිගය’, ‘කිව් උද්‍යානය’, ‘ලන්ඩන් අයි’ වැනි සංචාරකයෙක් නැරඹිය යුතු තැන් දැකබලා ගන්නට ලැබීම භාග්‍යයක් ලෙස සලකන අතර බෞද්ධ පිළිගැනීම් අනුව යහපත් අය දැකීමත්, යහපත් අයගේ පහස ලබන්නටත් පෙර පින් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව සක්සුදක් සේ තරයේ විශ්වාස කරමි.

එම්. එම්. සී. රත්නායක
අංක: 126/3, 2 වෙනි පටුමග,
සිරිමංගල පාර,මාකොළ දකුණ – මාකොළ.

advertistmentadvertistment
advertistmentadvertistment