‘රැට කළුවරේ – දවල්ට පෝලිමේ’ – මේ කොයි යන්නේ…?

161

විදේශ විනිමය හිඟය සමනය කරගැනීම සඳහා අපේ බලධාරීන් අනුගමනය කර ඇති ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග එතරම් ප‍්‍රතිඵලදායී වී නොමැත. මේ නිසා අපේ විදේශ සංචිත ප‍්‍රමාණය තවදුරටත් පහත වැටෙමින් අපගේ ණය ගෙවීමේ අවදානම් තත්ත්වය තවත් වැඩි වී තිබේ. අනිත් අතට තෙල් සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා විදේශ විනිමය හිඟ වීම නිසා මේ විදේශ විනිමය අර්බුදයේ ප‍්‍රතිවිපාකවලට මහජනතාවට දෛනිකව මුහුණ දීමට සිදුව ඇත. ‘?ට කළුවරේ, දවල්ට පෝලිමේ’ යන්න බොහෝ දෙනෙක් රජයට නඟුණ චෝදනාවයි. විදුලිය කැපිල්ල මාර්තු 05 වැනිදා සිට අවසන් වනබව ජනාධිපති මාධ්‍ය අංශය ඉකුත් මාර්තු 02 වැනිදා මාධ්‍ය නිවේදනයක් මගින් රටට ප‍්‍රකාශ කළත් එය බොරු වී ඇත. තවමත් දිනපතාම විදුලිය කැපෙයි. එසේම ගෑස්, ඛනිජ තෙල් සහ භූමිතෙල් යනාදිය ගැනීමට ජනයාට දිනපතා ම පෝලිම්වල දුක් විඳීමට සිදුව ඇත. මේ නිසා ජනදිවිය ඉතා දුක්ඛිත තත්ත්වයට පත්ව තිබේ. මේ පසුබිම තුළ ජනයා තුළ දිනෙන් දිනම වත්මන් රජය කෙරෙහි අප‍්‍රසාදය වර්ධනය වෙමින් තිබේ. පවතින අර්බුද කළමනාකරණය කරගැනීමට රජය අසමත්වීම නිසා ජනදිවිය දුකට පත්ව ඇත.

 පාවෙන රුපියල

 මේ දිනවල රුපියල පාවෙමින් තිබේ. එනම් රුපියල වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට (බොහෝ දුරට) ඉඩහැර තිබේ. මේ තීරණය මහ බැංකුව ගත්තේ පසුගිය මාර්තු 07 වැනිදා ය. මේ අනුව මුලින් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 230ක් දක්වා ද ඊට පසුව එම අගය රු. 260ක් දක්වා සහ ඉකුත් අඟහරුවාදා (15) රු. 270 ක් දක්වා ද ඉහළ ගියේය. එසේ ශී‍්‍ර ලංකා මහ බැංකුව නිකුත් කරන නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක අගය රු. 270ක් දක්වා ඉහළ යන අතරේ වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයක හුවමාරු අගය රු. 275 ක් ද ඉක්මවා සටහන්ව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ අනුව රුපියල පාවී ගොස් කොතැන නතරවේද යන්න තවමත් සිතාගත නොහැකිය. එය අපට මුහුණ දීමට සිදුවන උග‍්‍ර මිල පීඩනයට ද ඍජුව ම බලපාන කරුණකි.

 රුපියලේ තීන්දුව ප‍්‍රමාද වීම

 රුපියල පාකිරීමට මහ බැංකුව තීරණය කළේ පසුගිය මාර්තු 07 වැනිදාය. එහෙත් බොහෝ අර්ථශාස්ත‍්‍රඥයන්, වාණිජ මණ්ඩල මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාවේ සාමාජිකයන් ද මීට බොහෝ කලක සිට රුපියල අවප‍්‍රමාණය වීමට ඉඩ සලසන ලෙස මහ බැංකුවට සහ රජයට ඉල්ලීම් කළේය. එහෙත් රජය හෝ මහ බැංකුව ඒ සඳහා කිසිදු පියවරක් නොගෙන විනිමය අනුපාතය දිගටම කෘතිම ලෙස ස්ථාවර අගයක පවත්වාගෙන ගියේය. එනම් ඇමෙරිකානු ඩොලරයක අගය රු. 203ක අගයේ දිගට ම පවත්වාගෙන ගියේය. එහෙත් මෙසේ රුපියල එකම ස්ථාවර අගයක මෙසේ පවත්වාගෙන යෑමට නම් අපට විදේශ වත්කම්වල ශක්තිය අවශ්‍ය වේ. එහෙත් අපේ විදේශ සංචිත මට්ටම දිගින් දිගට ම පිරිහීම තුළ අපට රුපියල එසේ එකම අගයක අල්ලාගෙන සිටීමට ශක්තියක් නැත. මහ බැංකුවට රුපියල එසේ අතහරින්නට, එනම් පාවීමට ඉඩ දීමට සිදුවූයේ අපගේ වැටහීම අනුව නම් ඒ සඳහා තව දුරටත් ශක්තියක් නොතිබුණු නිසා ය. මේ නිසා දැන් වතුර යට අතින් රඳවාගෙන සිටි රබර් බෝලය අත ඉවතට ගැනීමත් සමග වේගයෙන් ජලය මතුපිටට පැමිණ තිබේ. දැන් කෙටිකාලීනව එහි විශාල කම්පනයකට මුහුණ දීමට වෙළෙඳපොළට සිදුව ඇත. මීට බොහෝ කලකට පෙර ක‍්‍රමානුකූලව රුපියලට අවප‍්‍රමාණය වීමට ඉඩ දුන්නා නම් මෙතරම් අහිතකර බලපෑම්වලට සහ අතිවිශාල මිල පීඩනයකට මුහුණ දීමට ජනතාවට සිදුවන්නේ නැත.

 රැට කළුවරේ – දවල්ට පෝලිමේ

 ජනයාට මේ විදේශ මුදල් අර්බුදය හමුවේ ?ට පැය කිහිපයක් කළුවරේ සිටීමට සහ දවල්ට ඉන්ධන සහ ගෑස් ඇතුළු පෝලිම්වල දුක් විඳීමට සිදුව ඇත. ඇතැම්විට ඉන්ධන සහ ගෑස් පෝලිම්වල ගුටිබැට හුවමාරු කරන අවස්ථා ද වාර්තා වී ඇත. පසුගියදා තෙල් සංස්ථාව මෙන්ම ලංකා ඉන්දියානු තෙල් සමාගම ද කළේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල වැඩි කිරීමයි.

 මේ අනුව ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරය රු. 77 කින් වැඩිවී රු. 254 ක් බවට පත්විය. ඔටෝ ඞීසල් ලීරය රු. 55 කින් වැඩි වී රු. 176ක් බවට පත්විය. මෙතරම් දැවැන්ත මිල වැඩි කිරීමක් කළත් තවමත් ෂෙඞ්වල පෝලිම් අවසන්ව නැත. තෙල් මිල වැඩි කිරීමෙන් තෙල් සංස්ථාවේ අලාභය අඩුවුවත් එමගින් අලූතින් ඩොලර් මැවෙන්නේ නැත. තෙල් ආනයනය කිරීමට අපට අවශ්‍ය වන්නේ ඩොලර්ය. ඒ නිසා ඩොලර් ප‍්‍රශ්නය සමනය කරගන්නා තෙක් අපට දිගට ම විටින්විට මේ විදුලිය සහ තෙල් ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකිය. විදුලිය කප්පාදුව, තෙල් හිඟය ඇතුළු සියලූ අපහසුතාවලට දිනපතා ම පාහේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප‍්‍රධාන හේතුව රට මුහුණ දී ඇති ඩොලර් ප‍්‍රශ්නයයි. ඒ නිසා විදේශ විනිමය හිඟයට කඩිනමින් පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. එවිට දුකට පත් ජනදිවියට සහනයක් සැලසෙනු ඇත.

 විනිමය අවප‍්‍රමාණයට ඉඩ සැලසුවා නම්:

 මීට බොහෝ පෙර රුපියල අවප‍්‍රමාණයට ඉඩ සැලසුවා නම් මෙතරම් විනිමය ප‍්‍රශ්නය උග‍්‍ර නොවීමට ඉඩ තිබුණි. එනම් රුපියල ක‍්‍රමානුකූලව අවප‍්‍රමාණය වූවානම් විශාල විදේශ විනිමය කළුකඩයක් ඇති වීම සිදුනොවන බවත් රටේ බැංකු ක‍්‍රමයට නිල මාර්ගවලින් බොහෝ විදේශ විනිමය ගලා ඒමට ඉඩකඩ තිබූ බවත් සඳහන් කළ යුතුය. එසේම හවාලා සහ උන්ඩියල් ක‍්‍රම මගින් මෙරටට මුදල් එවීම විශාල වශයෙන් ප‍්‍රවර්ධනය නොවීමට ද ඉඩකඩ තිබුණි. විදේශ විනිමය කළුකඩ වෙළෙඳාම කිසියම් මට්ටමකින් දිගට ම තිබුණත් නිල විනිමය අනුපාත අගය සහ කළුකඩ මිල අතර පරතරය විශාල වන්නට පටන් ගත්තේ මෙසේ රුපියල එකම අගයක අප දිගට ම

 අල්ලාගෙන සිටීම නිසා ය. මෙලෙස විදේශ විනිමය කළුකඩ වෙළෙඳාම ප‍්‍රවර්ධනය වීමත් නිල මාර්ගවලින් විදේශ විනිමය ලැබීම් අඩුවීමටත් මේ තත්ත්වය හේතුවිය.

 විදේශ විනිමය පේ‍්‍රෂණ අඩුවීම

 රුපියල අවප‍්‍රමාණය වීමට මුලසිට ම ඉඩ සැලසුවා නම් අපේ විදේශ විනිමය පේ්‍්‍රෂණ නිල මාර්ගවලින් සාමාන්‍ය පරිදි රටට ගලා ඒම සිදුවීමට ඉඩ තිබුණි. ඒ අනුව 2020 වසරේ මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 7104ක් වූ විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 5491ක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 1613කින් අඩු විය. එසේ ම මේ වසරේ (2022) ජනවාරි මාසයේදී තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 416ක් විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් අඩු විය. ඒ අනුව 2021 වසරේ සහ 2022 ජනවාරි මාසය යන කාලයේදී පමණක් විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම අඩුවීම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකට අධිකය. ඉන් යම් ප‍්‍රමාණයක් කොරෝනා කාලයේ විදෙස්ගත ශ‍්‍රමිකයන් නැවත ලංකාවට පැමිණීම නිසා අඩුවූවා විය හැකිය. එසේම පසුගිය කාලයේ විශේෂයෙන් 2020 වසරේ විදෙස් රැුකියා ස`දහා විදේශගත වූ පිරිස ද සැලකිය යුතු ලෙස අඩු විය. ඒ බලපෑම් ද නැතුවා නොවේ. එහෙත් නිල මාර්ගවලින් විදෙස්ගත ශ‍්‍රමිකයන්ට ලැබෙන රුපියල් වටිනාකම අඩුවීම 2021 වසරේ විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් අඩුවීමට ප‍්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය.

 අපනයන ආදායම් ප‍්‍රමාද වීම

 රුපියල එකම අගයක පවත්වාගෙන ගිය නිසා අපේ අපනයනකරුවන් රටට අපනයන ආදායම ගෙනාවේ ද කිසියම් ප‍්‍රමාදයක් සහිතව ය. එහෙත් රුපියල අවප‍්‍රමාණයට ඉඩදුන්නා නම් ප‍්‍රමාදයකින් තොරව අපනයනකරුවන් සිය අපනයන ආදායම රටට ගෙන ඒමට ඉඩකඩ තිබුණි. එසේම රුපියල අවප‍්‍රමාණයෙන් අපට ලැබෙන අපනයන ආදායම තවත් වැඩිවීමට ඉඩතිබුණු අතර තවදුරටත් අපනයන දිරිගැන්වීම ද සිදුවිය හැකිව තිබිණි. දැන් රුපියල පා වීමට ඉඩහැර ඇති නිසා මේ තත්ත්වය ඉදිරියේදී හො`ද අතට හැරෙනු ඇත.

 රුපියල රැුකීමට ඩොලර් සංචිත වැයවීම

 ශ‍්‍රී ලංකා මහ බැංකුවට දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළේ ඩොලර් විකිණීම හා මිලදී ගැනීම හරහා විනිමය අනුපාතයට බලපෑම් කළ හැකිවේ. ඒ අනුව සෑම මසකම මහ බැංකුවේ ඩොලර් විකිණීමේ සහ මිලදී ගැනීමේ අගයන් පරීක්‍ෂා කිරීමේදී පසුගිය කාලයේදී මහ බැංකුව ශුද්ධ වශයෙන් සිදුකර ඇත්තේ ඩොලර් විකිණීම හෝ එසේත් නැත්නම් විනිමය වෙළෙඳ පොළට ඩොලර් සැපයීමයි. මේ නිසා රු.203ක අගයේ අපගේ රුපියලේ අගය දිගට ම ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා අපට සැලකිය යුතු විදේශ මුදල් ප‍්‍රමාණයක් වැයවී ඇති බව ද කිව යුතුය. එනම් රුපියල එකම අගයේ රැුක ගැනීම සඳහා මහ බැංකුව වෙනත් බැංකුවලටත් සහ ආණ්ඩුවට විනිමය විකිණීම සිදුකර ඇති බවයි. මේ විකුණපු ශුද්ධ විදේශ විනිමය ප‍්‍රමාණය දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට අධික බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකුවන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ද පසුගියදා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණි. මේ නිසා විනිමය අවප‍්‍රමාණයට ඉඩදුන්නා නම් අපට මේ වනවිට පවතින ඇමෙරිකානු ඩොලර් බිලියන

 2.3 ක විදේශ සංචිත ප‍්‍රමාණයත් සමග මුළු සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට අධික අගයක් වීමට ද ඉඩ තිබුණි. කෙසේ වෙතත් රුපියල කිසියම් දුරකට පිහිරීම නිසා ඇතැම්විට ඇමෙරිකානු ඩොලරයක අගය රු.230ක පමණ මට්ටමකට ඉහළ ගොස් තිබීමට ද ඉඩ තිබුණි. එහෙත් කිසිසේත්ම මේ වනවිට නිර්මාණය වී ඇති බලවත් අර්බුදකාරී තත්ත්වය නිර්මාණය නොවන බව නම් නිසැක වශයෙන්ම කිව හැකිය.

 ප‍්‍රශ්නය වැඩි කරගැනීම

 මේ අනුව අපට පැහැදිලි වන්නේ අප විසින් වැරදි ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග ගැනීම නිසා සහ ගතයුතු නිසි ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ග නිසි වේලාවේ දී

 නොගැනීම නිසා මේ විදේශ මුදල් ප‍්‍රශ්නය, සමනය කර ගන්නවා වෙනුවට සිදුව ඇත්තේ එම ප‍්‍රශ්නය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් වීමයි. මේ තත්ත්වය ඒ නිසා කොරෝනා වසංගතයට හෝ රුසියානු – යුක්රේන යුද ගැටුම්වලට බැරකළ නොහැකිය. මේ ප‍්‍රශ්නය අප විසින්ම තවත් වැඩි කරගෙන තිබේ. ඒ සඳහා රජයේත් මහ බැංකුවේත් වගකීමක් ඇති බව අපගේ අදහසයි. පෝලිම්වල සිටිමින් දුක් විඳින මහජනයා ආණ්ඩුවට දෙස් දෙවොල් තියන්නේ මේ නිසාය. තවත් කරුණක් මෙහිදී ස`දහන් කළ යුතුය. එනම් රුසියානු යුක්රේන යුද ගැටුම් නිසා වාර්තාගත ලෙස ඉහළ ගිය බොරතෙල් මිල මේ වනවිට නැවත අඩුවී ඇති බවයි. මේ අනුව ඊයේ (16) වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 101ක් දක්වා අඩුවී තිබේ. සති දෙකකට පසු මෙසේ බොරතෙල් මිල ගණන්වල අඩුම අගය වාර්තා වී තිබේ. මෙය රටට සහනයකි. මේ සහනය ජනයාට ද ලැබිය යුතු බව අපගේ අදහසයි. ඒ ගැන ද රජයේ අවධානය වහාම යොමුවන්නේ නම් ඉතා මැනවි. බෙහෙවින් දුකට පත් ජනදිවියට යම් සහනයක් අවශ්‍යමය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment