රැඩිකල් රැජන

924

දෙවැනි එලිසබත් රැජනගේ අභාවය අද දවසේ ලොව කලඹන පුවතක් පමණක් නොවේ. එය මේ සතිය පුරාමද, මේ මාසය පුරාමද, මේ අවුරුද්ද පුරාමද ලෝකවාසී ජනතාවගේ සිත් සතන් කැළඹූ සහ සිත් සතන් දුකින් හැඬවූ පුවත බවට පත්වනවා ඇත. එළිසබත් රැජනගේ පළමුවන අග්‍රාමාත්‍යවරයා වූයේ 1898 උපන් ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්ය. ඒ වනවිට ඇය අවුරුදු විසි ගණන්වල පසුවූ මහ රැජනකි. පසුගියදා දිවුරුම් දුන් ලිස් ට්‍රස් මැතිනිය එළිසබත් රැජනගේ 15 වන අගමැති වේ. එළිසබත් රැජන යටතේ වැඩකළ අගමැතිවරුන් ගණන තරම් ප්‍රමාණයක් වෙන කිසිදු රටක මහ රැජනක් හෝ මහ රජකු යටතේ වැඩකර නැත. වඩාත්ම දීර්ඝ කාලයක් එංගලන්ත සිංහාසනයේ සිටි රාජකීයයා වූ ඇය තම රට වික්ටෝරියානු සම්ප්‍රදායේ සිට නවීන සම්ප්‍රදාය දක්වා ගමන් කළ ආකාරය ඉතා පැහැදිලිව නැරඹූ රජකීයයෙකි. එසේම ඇය සමාජවාදයේ බිඳ වැටීමද දුටුවාය. ජර්මනියේ බර්ලින් තාප්පය කඩා දමන අයුරුත්, උතුරු කොරියාව හැර ලෝකයේ සෙසු සියලු සමාජවාදී රටවල් ප්‍රජාතන්ත්‍රවාදයට හැරෙන ආකාරයත් ඇය දුටුවාය. එසේම මිනිසා හඳට යන අයුරුත් පරිගණකය බිහිවන අයුරුත් ඇය අධීක්ෂණය කළාය. එළිසබත් රැජන උපදින්නේ මිනිසා සඳට යෑම කිසි ලෙසකත් සිදුවිය නොහැක්කක් බව කියන ලද කාලයකය.

ඇය විවාහ වන්නේ සාම්ප්‍රදායික රටක් පාලනය කිරීම සඳහා සාම්ප්‍රදායික රැජනක් බවට පත්වීමේ අභිලාෂයෙන් සාම්ප්‍රදායික ග්‍රීක කුමාරයකු සමගය. ඇගේ පෙම් කතාව වික්ටෝරියානු සම්ප්‍රදායට පයින් ගැසූ කදිම පෙම් කතාවකි. දිනක් ග්‍රීක් කුමාරයෙක් ග්‍රීක නැවක නැගී එංගලන්තයේ වරායකට පැමිණියේය. ඉන්පසු ඔහු චාරිත්‍රානුකූලව රජ පවුල බැහැදැකීමට ගියේය. තරුණ එළිසබත් රැජන ඔහුට හමුවන්නේ එම ගමනේදීය. ඉන්පසු විවාහ පත්වන මේ යුවළ දූ පුතුන් වදා සාර්ථක දෙමාපියෝ බවට පත්වූහ. එහෙත් රජ පවුලක දරුවන් හැටියට එළිසබත් රැජනගේ දරුවන් අතරින් සාර්ථක ප්‍රතිරූපයක් ඉතිරි කරගන්නේ චාල්ස් කුමාරයා පමණි. ඔහු රාජාභිෂේකය ලබන විට ඔහුගේ සිහසුනේ පසෙකින් එළිසබත් රැජන සිටියා නම් වඩාත් හොඳ වීමට ඉඩ තිබිණ. එහෙත් අප කැමති දේ හැමවිටම සිදු නොවෙයි.

එළිසබත් රැජනගේ ජීව දත්ත ඇතුළු සියලු තොරතුරු අද අපේ පුවත්පතේ පළවේ. ඒ නිසා අප මේ කතුවැකිය කැපකරන්නේ ඇය පිළිබඳ වෙනත් කරුණු දක්වාලනු පිණිසය. ලෝකයේ රූපවාහිනිය මගින් ප්‍රචාරය කරන ලද පළමුවන රාජාභිෂේකය වන්නේ එළිසබත් රැජනගේ ඔටුනු පැළඳවීමයි. ඇය සම්ප්‍රදාය බිඳින ලද රැජනක වූ බැවින් ඇගේ යුගය එළිසබත් යුගය ලෙස හඳුන්වනු ලැබේ. එහෙත් ඇයට පෙර සිටි බ්‍රිතාන්‍ය රජු වූ ජෝර්ජ් රජතුමාගේ යුගය ජෝර්ජ් යුගය ලෙස කවුරුවත් හඳුන්වන්නේ නැත. එහෙත් එළිසබත් රැජනගේ මිත්තණියක වූ වික්ටෝරියා රැජනගේ යුගය වික්ටෝරියානු යුගය ලෙස හඳුන්වනු ලැබේ. කාන්තාවක් රජ කිරුළක් දරන විට නිතරම ලිබරල් මතයක් දැරිය යුතු බව එළිසබත් රැජන විශ්වාස කළාය. බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයට සහ පෞද්ගලික අංශයට වැඩි වැඩියෙන් කාන්තාවන් බඳවාගත යුතු බව ඇය නිතර යෝජනා කළාය. එහෙත් ඇගේ තීරණය 100% ක්ම ක්‍රියාත්මක කිරීමට බ්‍රිතානයේ සාම්ප්‍රදායික නිලධාරී කුටුම්භය කැමති වුණේ නැත. ඔවුන් හැමදා විශවාස කළේ පුරුෂවාදය සහ පුරුෂාධිපත්‍ය මගින් රටක් පාලනය කළයුතු බවය. එළිසබත් රැජන මේ මතයට විරුද්ධව සිහසුනේ සිට විශාල සටනක් කළාය. සමහරවිට රටේ රැජන ඇය නොවන්නට නිලධාරීන් ඇය ගෙදර යවනවා ඇත.

එළිසබත් රැජන සිහසුනට පත්වීමත් ලෝකයේ නව කර්මාන්ත යුගයේ ආරම්භයත් සමාන්තරව සිදුවූවකි. මේ නිසා එංගලන්තය ඉතා ඉක්මනින් දියුණු විය. එහෙත් කර්මාන්ත යුගය පෝෂණය කිරීම සඳහා ළමා ශ්‍රමිකයන් සේවයෙහි යෙදවීම සඳහා එවකට තිබූ සම්ප්‍රදායට පා පහරදුන් එළිසබත් රැජන ළමයින්ට හිමි තැන් දෙකක් ඇති බවත් ඉන් පළමු තැන පවුල බවත් දෙවන තැන පාසල බවත් නතර කීවාය. ඇය ස්වකීය රාජ්‍ය පාලනය අරඹන විටත් බ්‍රිතාන්‍ය තිබුණේ වික්ටෝරියානු සම්ප්‍රදාය තුළ සිරවෙලාය. ඒ නිසා ඇගේ මතවාද බ්‍රිතාන්‍ය සමාජයේ දුෂ්ට අත්තිවාරම සිදුරු කිරීමට සමත්විය. කෙසේ වුවද එළිසබත් රැජන සෑම කල්හිම ස්වකීය රැඩිකල් මතය ජයග්‍රහණය කිරීමට සැලැස්වූවාය. ඇය ඉතාම කලාතුරකින් ලෝකයට දැකගන්නට ලැබෙන වර්ගයේ ගැහැනියකි.

advertistmentadvertistment
advertistmentadvertistment