රැඳවියන්ට කුඩු විකිණූ නියාමක දිවි ඇති තෙක් හිරේ

417

බන්ධනාගාර රැඳවියන් සඳහා මත් කුඩු අලෙවි කළා යැයි චෝදනා ලද බන්ධනාගාර නියාමකවරයකුට මහනුවර මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද මහතා 7 දා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ බන්ධනාගාර නියාමකවරයෙකු වූ එකල තෙල්දෙණියේ පදිංචි හතළිස් පස් හැවිරිදි එම්. ජී. මාලක මිහිර බන්ඩාර යන අයට ය. බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් අටසියයක් සමග බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ බන්ධනාගාර නියාමකවරයාට එරෙහි නඩුව වසර නවයකට ආසන්න කාලයක් විභාග වීමෙන් පසු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා චූදිතට මෙම දඬුවම් නියම කළේය.

මෙම පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ධම්මික උඩවත්ත මහතා සහ චූදිත වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නිලන්ත පෙරේරා මහතා ඉදිරිපත්ව සිටියහ.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment