රැඳවියන්ට වෙන්කරන සල්ලි නිලධාරින්ගේ සාක්කුවලට

117

එකම වරදට දෙවරක් දඬුවම් දෙන්න බන්ධනාගාරය අධිකරණයක්ද?…
අමාත්‍යාංශ නියෝග අවභාවිතා කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව….
නිලධාරීන් හදන ලැයිස්තුවට දෙන ජනාධිපති සමාව…
හාර දහසක් නිදහස් කරන්න හැකි වුණත් නත්තලට එළියට දැම්මේ 309 යි…

ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට යම් විසඳුමක් ලැබෙන කරුණක්ව තිබෙන බැවින් මේ වන විට පිරී ඉතිරී ගොස් ඇති මෙරට බන්ධනාගාර පද්ධතියේ රඳවා ඇති සිරකරුවන්ගෙන් යම් පිරිසක් මනුෂ්‍යත්වයේ නාමයෙන් නිදහස් කර යවන ලෙසට අපි ඉකුත් තෙසතියක පමණ කාලයේ සිට පෙන්වා දුන්නෙමු.

මෙසේ සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමේදී සිදුවන්නේ ඔවුන්ගේ ආහාර, ඇඳුම් පැළඳුම්වල සිට ජලය විදුලිය ආදී වශයෙන් සියල්ල ලබා දීම වෙනුවෙන් ආණ්ඩුව දරනු ලබන වැය බර ලිහිල් වීමය. එහිදී ඉතිරි වන මුදල අතිවිශාල එකකි.

එවැනි නිදහස් කිරීමක් සිදු කෙරෙන්නේ නම් දැනට ගෙවනු ලබන සිර දඬුවම අත්හිටුවූ එකක් බවට පත් කරමින් දැඩි කොන්දේසි යටතේ එය සිදු කළ හැකි බවද අපි පෙන්වා දුන්නෙමු. රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙද්දී තවත් ආකාරයකට ගැබිනි මාතාවන් නිසි අහරක් නොමැතිව පෝෂණීය ඌණතාවලට ගොදුරුව සිටී නම් එවැනි අසරණ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීම වගකිවයුතු රජයක යුතුකමය. දරුවා යනු රටේ අනාගතය ය. එසේම ගැබිනියකගේ කුස තුළ සිටින දරුවාද යම් දවසක රටේ අනාගතය භාරගනු ඇත.

රටේ දරු පරපුර එසේ පෝෂණ ඌණතාවලට ගොදුරු සිටීම හමුවේ ඇති වන ප්‍රතිවිපාකවල බලපෑම රටක් වශයෙන් අපට දැනෙන්නේද මතු අනාගතයේදීය. මේ හේතුවෙන් බන්ධනාගාර පිරී ඉතිරී යන තරමට ඒවායේ සිරකර සිටින සිරකරුවන් අතරින් පිරිසක් නිදහස් කරමින් ඔවුන් නඩත්තු කිරීම අරබයා වැය කරන අති විශාල මුදල රටේ දරු පරපුර වෙනුවෙන් වෙන් කරන්නැයි ද අපි රජයට යෝජනා කළෙමු. එහෙත් මේ මොහොතේත් සිදු වෙමින් තිබෙන්නේ කුමක්ද? ඉකුත් දා බන්ධනාගාර මූලස්ථානයේ පැවති සාකච්ඡාවකි. එහි මාතෘකාව වී තිබුණේ ගෙවී ගිය නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත වූවනට සමාවක් ලබා දෙනුයේ කෙසේද යන්නය. ‘

සාකච්ඡාවට සහභාගි වූ නිලධාරීන් විවිධ අදහස් ඉදිරිපත් කරද්දී එක් අයකු සඳහන් කරනු ලැබුවේ නිසි පරිදි කටයුතු කළහොත් හාරදහසකට අධික පිරිසක් ගැටලුවකින් තොරව නිදහස් කර යැවීමේ හැකියාවක් බන්ධනාගාර පද්ධතියට තිබෙන බවය. එසේ සිරකරුවන් හාරදහසක පමණ පිරිසක් නිදහස් කර යැවුනහොත් රජයට ඉතිරි කරගත හැකිවන මුදල රුපියල් කෝටි සියයකටත් අධිකය. එහෙත් මේ හාරදහසේ කතාව කියැවුණු විගස සාකච්ඡාවට එක්ව සිටි නිලධාරීන් අතර ඇතිවූයේ ප්‍රබල ගැටුමකි. එසේ විශාල පිරිසක් නිදහස් කර යැව්වහොත් තමන්ගේ රැකියාවට තර්ජනයක් වන එහිදී ඇතැමුන් ආදායම් ඉපයීම සම්බන්ධයෙන් වන ගැටලු කිහිපයක්ද එහිදී ඇතැමුන් මතුකර ඇත.

මේ තත්ත්වය තුළ හාරදහසක් නිදහස් කිරීමේ හැකයාවක් තිබෙන බව සඳහන් වුවද අවසානයේ තීන්දු වූයේ නත්තල වෙනුවෙන් සමස්ත සිරකරුවනට දඬුවමින් ගෙවන ලද වසරකට හෝ කොටසකට එක් මසක සමාවක් ලබා දෙන අතරේ දඩ මුදල් ගෙවාගත නොහැකිව සිටින සිරකරුවන්ගේ දඬුවම අහෝසි කිරීමටත් නියම වූ දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩියෙන් සිරගතව සිටින වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන්ගේ දඬුවම අහෝසි කිරීමට හා වසර හතළිහ හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර නත්තල් දිනය වන විට එම දඬුවමින් වසර විස්සක් කාලයක් ගෙවා ඇති සිකරුවන්ගේ දඬුවම අහෝසි කිරීමටත් තීන්දු කෙරිණී, එහෙත් අවසානයේ නත්තල් දිනයේ නිදහස ලැබ බන්ධනාගාරයෙන් පිටව ගියෝ කවරහුද?

මාස එකක පොදු සමාව යටතේ සිරකරුවන් 71 දෙනකු නිදහස් කෙරිණි. එසේම දඩ ගෙවා ගත නොහැකි සිටියවුන් 237 කටද නිදහස හිමිවූ අතර දඬුවමින් හරි අඩක් ගෙවූ වයස අවුරුදු 65 වැඩි සාධකය යටතේ එක් සිරකරුවකු නිදහස ලැබීය. ඒ අනුව නත්තල වෙනුවෙන් සිරකරුවන් 309 දෙනකුට නිදහස හිමි වුවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුලදී කී පරිදි වසර හතළිහක හෝ ඊට වැඩි දඬුවමක් නියම වී ඉන් වසර විස්සක් ගෙවා තිබීමේ සාධකය හමුවේ නිදහස් වූ කිසිදු සිරකරුවකු නොවිණි.

ඉන් කියැවෙන්නේ කුමක්ද? බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුලින් කී පරිදි එසේ වසර හතළිහට වඩා වැඩි දඬුවම් නියම වී ඉන් වසර විස්සක් ගත කළ කිසිවකුත් නිදහස් නොවූයේ එම සාධකය තනිකරම මුළාවක් වීම නිසා යැයි යන්නද? එම කොන්දේසිය නත්තල් නිදහසට ඇතුළත් කරනු ලැබුවේ එවැනි සිරකරුවන් කිසිවකුත් බන්ධනාගාරවල නොසිටියදීද? ඒ පිළිබඳව කිසිත් දැනගැනීමටද නැත.

ඇතැම් විට මේ සම්බන්ධයෙන් විමසීමක් කළහොත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යම් පිළිතුරක් ලබාදෙනු ඇත. එහෙත් ඒ පිළිතුරෙන් වත්මන් අර්බුදය අනුව බලන කල රටට ඇති වැඩක් නැත. මුළු රටම තවමත් ඇත්තේ හුස්ම නොවැටෙන තරමින් ආර්ථික අගාධයක සිරවීය. අපේ වැටහීම අනුව මේ සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරියගෙන් විමසීමක් කළද ඇති තේරුමක් නැත. මන්ද ඇයට ඒ පිළිබඳ වැටහීමක් නොමැත. ලේකම්වරියට පමණක් නොව, මෙවැනි සියුම් දේවල් ගැන ජනාධිපති නීතිඥයකු ද වන අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාද නොදන්නවා වියහැකිය.

එහෙත් ඇමැතිවරයා එවැනි ක්‍රියාත්මක වීම් නොදැන සිටියද මෙරට බන්ධනාගාර පද්ධතිය සහ එහි සිරවී ජීවිතය විඳවන සිරකරුවා පිළිබඳ ඔහුට පැහැදිලි දැක්මක් ඇත. විජයදාස රාජපක්‍ෂ මහතා පසුගිය දිනවල මාධ්‍ය ඉදිරියට පැමිණි දැක්වූ අදහස්වලින් අපි ඒ බව අවබේධ කර ගත්තෙමු. එවැනි මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ ඔහු වරෙක සඳහන් කරනු ලැබුවේ රටක නීතියක් පවතින්නේ ජනතාව සුරක්‍ෂිත කිරීමට මිස තලා පෙළා දැමීමට නොවන බවකි. ඔහුගේ ඒ වචන කිහිපය තුළ ඇත්තේ මොනතරම් ගැඹුරක්ද? වචන දෙකක් නැත කලකට පසු මෙරට බන්ධනාගාර විෂය අරබයා කටයුතු කරන්නට දක්‍ෂ ඇමැතිවරයකු බිහිවී සිටින බව මෙහිදී විශේෂයෙන් සටහන් කර තැබිය යුතුව ඇත. ඇතැමුන්ගේ අවබෝධය කෙසේ වෙතත් මෙරට බන්ධනාගාර තුළ සිදුවන විවිධ සෙල්ලම් පිළිබඳව කාලයක සිටම අපි දැන සිටින්නෙමු. මේ අසීරු අවස්ථාවේ රට ගැන සිතා එය මෙසේ කරමු යැයි පුන පුනා ආණ්ඩුවට පෙන්වා දෙන්නේද අපට ඇති ඒ දැනුවත්කම හේතුවෙනි. විවිධ අවස්ථාවන්හිදී බන්ධනාගාරගත සිරකරුවාට පොදු සමාවක් ලබා දෙන්නේ රටේ පළමු පුරවැසියා විසිනි. අද එතැන සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. නත්තල හෝ අනෙකුත් වෙනත් විශේෂ අවස්ථාවක් වේවා සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියෙන් පැවරී තිබෙන බලතල ප්‍රකාරව එයට අත්සන තබමින් එය තහවුරු කරනුයේ ජනාධිපතිවරයා ය.

එහිදී සියල්ල කළමනාකරණය කරමින් නිදහස ලබාදිය යුතු සිරකරු නාම ලේඛනය ජනාධිපති ලේකම්වරයා මගින් ජනාධිපතිවරයාට යොමු කරනුයේ අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යාංශය මගිනි. කිසියම් රජයක් යටතේ බන්ධනාගාර හා පුනරුත්ථාපන ලෙසින් වෙනම අමාත්‍යාංශයක් තිබුණද අවසන් අවස්ථාවේ ඒ වගකීම පැවරෙන්නේ අධිකරණ අමාත්‍යාශංයටය. එහෙත් සියලු කටයුතු එසේ වගකීම් සහිතව සිදු කෙරුණද කිසියම් පොදු සමාවක් බන්ධනාගාරගත සිරකරුවන්ට ලබාදීමේදී එයට සුදුස්සන් තෝරා, බේරා, පෙරා නම් කරනුයේ කවරෙක්ද? එය සිදුකරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවය. නැතහොත් නිලධාරීන්ය. ජනාධිපතිතුමනි, අධිකරණ ඇමැතිතුමනි, එකී ක්‍රමවේදයම නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන්නාක් වැනි නොවේද? වෙනත් ආකාරයකට කිවහොත් එය හරියට ගව පට්ටිය විකුණන්නේ දැයි ගොපල්ලාගෙන් විමසන්නාක් වැනිය.

මේ කටයුත්ත සිදුවිය යුත්තේ එලෙසින්ද? සිරකරුවනට පොදු සමාවක් පිරිනැමීමේදී එයට මාසයකට, දෙකකට පෙර ජනාධිපතිවරයා හෝ නැතහොත් අධිකරණ ඇමැතිවරයා විසින් පත්කරනු ලබන විද්වත් ස්වාධීන කමිටුවක් මගින් බන්ධනාගාරගත සියලු සිරකරුවන් (විශේෂයෙන් මරණීය දණ්ඩනය හා දීර්ඝකාලීන සිරදඬුවම් හිමිවූ) පිළිබඳව සොයා බලා නිදහස් කිරීමට සුදුස්සන් තෝරගත නොහැකිව තිබෙන්නේ මොන අවාසනාවක් නිසාද. කෙනකු සමාජ විරෝධී වරදක් හෝ යම් අපරාධයක නිරත වුවහොත් ඔහුට දඬුවමක් දීම නිවැරදිය. එසේම දඬුවම සදාකාලික වීම කිසිසේත්ම නිවැරදි වන්නේ නැත. දඬුවම් කිරීම නොව, එසේ සදාකාලිකව දඬුවම් දීම කොහෙත්ම විසඳුමක් නොවනවා සේම රටක් සංවර්ධනය වෙත යන ගමනටද පැහැදිලි බාධාවකි.

එය අද ලෝකය පිළිගත් සත්‍යයක් වේ. එහෙත් හතර අතට ණය වී ණය කන්දක් උඩට නැඟ ඉන් ඇද වැටී හොම්බෙන් ගොස් නන්නත්තාර වී සිටයදීත් රටක් වශයෙන් අදටත් අප කරමින් සිටිනුයේ කුමක්ද? විසඳුම දඬුවම ම නොවන බව ලෝකයම අවබෝධ කරගෙන තිබියදීත් ඒ බව දැන දැනම යථාර්ථයට පශ්චාත් භාගය හැරවීමය. කටයුතු සිදුවන්නේ එසේ නම් මේ රටට කිසිසේත්ම ඉදිරි ගමනක් තිබිය හැකිද? ආර්ථික වශයෙන් රටම ඇද වැටී තිබෙන මේ මොහොතේ බන්ධනාගාර යන්න අපගේ මාතෘකාව බවට පත්කර ගනිමින් ඒ පිළිබඳව දිගින් දිගටම කතා කරනු ලබන්නේද එහෙයිනි. නිවැරදි වන්නට අවස්ථාවක් නොදී පද්ධතියට දරාගත නොහැකි තරමේ මිනිසුන් පිරිසක් සිරගතව තබා ගනිමින් රජය ඔවුන් පෝෂණය කිරීම පිණිස වැය කරන මුදල රුපියල් කෝටි සිය ගණනකි.

මෙය සිදුවන්නේ ආර්ථික වශයෙන් ඇද වැටුණු රටක දරු පැටවුන් කුසට අහරක් නොමැතිව මන්දපෝෂණයෙන් පෙළෙද්දීය. නිදහසක් නොමැතිව පියවරු සිරගත කිරීම හමුවේ දහසකටත් අධික දරුවන් පිරිසක් සිඟමනට වැටී සිටියදීය. දීර්ඝකාලීනව සිරගත කර සිටින සිරකරුවනට දැඩි කොන්දේසි සහිත සමාවක් ලබා දෙන්නැයි අප රජයට යෝජනා කරනු ලැබුවේ මේ තත්ත්වය හේතුවෙනි. එහිදී රජයට ඉතිරි වන මුදලින් අර්ථික අර්බුදය හමුවේ මන්දපෝෂණයෙන් පෙළෙන දිළිඳු දරුවනට පෝෂණීය ආහාර වේලක් ගෙන දීම අපේ අරමුණ විය.

දිගුකාලීනව පියවරු සිරගත වීම හේතුවෙන් දුකට පත් දරුවන්ගේ මුවඟට සිනහ රැල්ලක් එක්කිරීම අපේ ඉලක්කය විය. නිසි පෝෂණයක් නොමැතිව දුකට පත් ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ බිඳක්, නිසි අහාර වේලක් ලබා දීම අපේ බලාපොරොත්තුව විය. කඩා වැටුණු රටේ ආර්ථිකය දෙස බලා අප මේ අති මානුෂීය වූ පෙන්වා දීම සිදු කරද්දී බන්ධනාගාරගත සිරකරුවා සම්බන්ධයෙන් සාධනීය තීරණ දෙකක් ගැනීමට අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉකුත් දිනවල කටයුතු කළේය.

බන්ධනාගාරගතව සිටින විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූ වයෝවෘධ සිරකරුවන්ට සෞඛ්‍ය හේතූන් සළකා නිදහසක් ලබාදීම පිණිස විද්වත් කමිටුවක් පත් කිරීම ඇමැතිවරයා එසේ ගනු ලැබූ එක් තීරණයක් විය. එසේම ඉදිරියේදී සුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන් සිරගත නොකර ඔවුන් නිවාස අඩස්සියේ තැබීම සඳහා නීති සංශෝධනයක් සිදු කිරීමට තීරණය කළ බවක්ද ඇමැතිවරයා මීට දින කිහිපයකට ඉහතදී අනාවරණය කළේය. එහෙත් ඇමැතිවරයා එසේ කටයුතු කරද්දී මේ මොහොත වන විට වයෝවෘධ රෝගී සිරකරුවන්ට නිදහසක් ලබාදීම සඳහා පත් කළ විද්වත් කමිටුවට සිදුව තිබෙන්නේ කුමක්ද? අධිකරණ අමාත්‍යාංශය අදාළ කමිටුව පත් කළේය. ඒ සමඟම බන්ධනාගාර මූලස්ථානයෙන් මෙරට ප්‍රධානම බන්ධනාගාර හතර වෙත එක්තරා සුවිශේෂී ලිපියක් නිකුත් කෙරිණි.

රැඳවියන්ට වෙන්කරන සල්ලි නිලධාරින්ගේ සාක්කුවලට

එම ලිපියෙන් අදාළ බන්ධනාගාර අධිකාරිවරුන්ට දන්වා සිටියේ කුමක්ද? ම් සිරකරුවකු බන්ධනාගාරය තුළදී සිදු කළ වරදකට බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයකින් වරදකරු කර දඬුවම් පමුණුවා තිබේ නම් එවැනි කිසිවකුත් අදාළ කමිටුවට ඉදිරිපත් නොකරන ලෙස එමඟින් අධිකාරිවරුන්ට උපදෙස් ලබාදී තිබිණි. පැහැදිලිවම බන්ධනාගාර මූලස්ථානය අදාළ බන්ධනාගාර අධිකාරිවරුන්ට මේ ලබා දී ඇත්තේ බරපතළ ලෙස නීති විරෝධී වූ දැනුම්දීමක් නොවේද? යමෙකු කළ වරදක් හමුවේ අධිකරණය මගින් ලබාදුන් දඬුවමකට අනුව බන්ධනාගාරගත කෙරිණි.

ඔහු බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් භාවිතා කිරීම, දුම්කොළ කැබැල්ලක් සන්තකයේ තබා ගැනීම, සිගරට්ටුවක් ළඟ තිබීම ආදී වශයෙන් යම් තහනම් ද්‍රව්‍යයක් භාවිතය හේතුවෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් වෙත යොමු කිරීමෙන් පසුව කළ වරද හේතුවෙන් තවත් දඬුවමකට යටත් විය. එසේ වරදට දඬුවම් නියම වූ පුද්ගලයකුට එම වරදටම යළි දඬුවම් කිරීමට බන්ධනාගාරයට ඇති අයිතිය කුමක්ද? එකම වරදට දෙවරක් දඬුවම් කිරීමට ලෝකයේ කිසිදු රටක නීතියකින් ඉඩක් තබා නැත. එය මානව අයිතීන් උල්ලංඝනයකි. එය නීතියේ මූලික සිද්ධාන්තයකි. එහෙත් මෙරට බන්ධනාගාරවලට එය අදාළම නැත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙසේ අධිකරණ බලයක් බලහත්කාරයෙන් ආරෝපණය කරගන්නේ කෙසේද? එය තනිකරම ගරු අධිකරණයට සිදුකරන අපහාසයකි. දඬුවම් ලැබිය යුතු වරදකි. එහෙත් තවමත් එකී ලිපිය ආපසු හැරවීමක් සිදුව නැත. බන්ධනාගාර මූලස්ථානය මේ ලිපිය නිකුත්කර දෙදිනක් ගතවෙද්දී එවැන්නක් සිදුකරනුයේ කෙසේ දැයි අපි අමාත්‍යාංශ ලේකම්වරියගෙන් විමසීමක් කළෙමු. ඒ විමසීමේදී ඇය මුලින්ම සඳහන් කරනු ලැබුවේ යමෙක් වරදක් කර තිබේ නම් එසේ දඬුවම් කිරීම නිවැරදි වන බවකි. එහෙත් එලෙස දෙවරක් දඬුවම් කිරීමේ අයිතියක් තිබේ දැයි ඇයගෙන් කළ විමසීමේදී බන්ධනාගාර පාර්ශ්වයෙන් කරුණු විමසීමක් නොකර එයට පිළිතුරක් ලබා දිය නොහැකි බව සඳහන් කළ ඇය ඒ පිළිබඳව සොයා බැලීමක් සිදුකරන බව පැවසීය.

ලේකම්වරිය අදාළ සොයා බැලීම මේ දක්වා සිදු කළේ දැයි අපි නොදනිමු. එසේම බන්ධනාගාර මූලස්ථානය මගින් යවන ලද වහා අහෝසි කළ යුතු එකී කැකිල්ලේ ලිපිය යළි කැඳවූ බවක්ද දැනගැනීමට නැත. එය තවමත් බලාත්මකය. ඒ අනුව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයකින් වරදකරුවන් වූ කිසිවකුටත් අදාළ සමා කමිටුව වෙත ඉදිරිපත් වීමට කිසිදු අවස්ථාවක් නැත. ඔවුන් ඒ සඳහා වසරක කාලයක් බලා සිටිය යුතුය. මෙසේ අවස්ථාව අහිමි වී ගොස් ඇත්තේ බන්ධනාගාරගත රෝගී වයෝවෘධ මිනිසුන්ටය. ඔවුහු ඇතැම් විට වසර දහය, පහළව, විස්ස ආදී වශයෙන් බන්ධනාගාරගතව දුක්ඛිත ජීවිත ගත්කෙරුවෝ වන්නාහ. මේ තුළ ඇති අමානුෂිකත්වය මොන තරම් බරපතළද? මේ කියැවෙන්නේ නත්තල් සමාව වෙනුවෙන් බන්ධනාගාර මූලස්ථානයේ පැවති සාකච්ඡාවේදී මතුවූ ආදායම් ලැබීමේ කතාවද?

අපි යළිත් පෙන්වා දෙන්නෙමු මරණීය දණ්ඩනය හෝ දීර්ඝකාලීන සිර දඬුවමක් ලැබ මෙරට බන්ධනාගාරයක් තුළ වසර පහකට අධික කාලයක් යමෙකු සිරගතව සිටියහොත් ඔහු හෝ ඇය සමාජගත වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නම් යළි බන්ධනාගාරයක් දෙස හැරී බලන්නේවත් නැත. මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ ඒ බව සනාථ කිරීමට ඕනෑ තරම් සාක්‍ෂි ඇත.

ජනාධිපතිතුමනි, අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිතුමනි යථාර්ථය එසේ වෙද්දී මෙරට බන්ධනාගාර තුළ තවමත් කටයුතු සිදුවන්නේ මෙලෙස නම් ඔබ කොතෙක් උත්සාහ දැරුවද මේ රට ඉදිරියට ගෙන යා හැකිවනු ඇතිද?

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment