රැපිඩ් පීසීආර් කොන්දේසිය නිසා ඩුබායි රැකියා කරන ශ‍්‍රී ලාංකිකයේ අමාරුවේ

1442

ඩුබායි වෙත පැමිණෙන මගීන් සියලූම දෙනා රැපිඞ් පී.සී.ආර්.  (rapid P.C.R)  පරීක්ෂණයකට මුහුණදිය යුතු බව ඩුබායි රාජ්‍යය දැනුම් දීමත් සමග දැනට මෙරට සිටින ඩුබායිහි සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් රැසකට යළි රැකියා සඳහා යෑමට නොහැකි තත්ත්වයක් මතුව ඇත. ඊට හේතුවී ඇත්තේ එම පරීක්ෂණ පහසුකම් ශ‍්‍රී ලංකාවේ නොතිබීමය.

ඩුබායි රාජ්‍යය විසින් හදිසියේ පැනවූ මේ නියෝගය අනුව නියමිත දිනට සිය රැකියා ආයතන සඳහා වාර්තා කිරීමට නොහැකිවීම මත ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට සිය රැකියා අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

මීට විකල්ප ලෙස ගුවන් ගමන් නියෝජිතයන් ක‍්‍රම දෙකක් යෝජනා කොට තිබේ. එක් යෝජනාවක් වන්නේ මාලදිවයින හරහා ඩුබායි වෙත ගමන් කිරීමයි. දෙවැනි යෝජනාව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ ජෝර්ජියාව හරහා ඩුබායි වෙත ගමන් කිරීමය. මේ ගුවන් ගමන් දෙක සඳහාම සාමාන්‍ය මුදලට වඩා සිව් ගුණයක පමණ වියදමක් දැරීමට සිදුවීම බරපතළ ගැටලූවකි.

මැද පෙරදිග බොහෝ ආයතන හිමිකරුවන් මේ වන විටත් ඊමේල් මාර්ගයෙන් දක්වා ඇත්තේ මෙම මස 20 වැනිදාට ප‍්‍රථම රාජකාරි සඳහා වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බවය. මේ අනුව ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ මැදපෙරදිග සේවා ගිවිසුම් අවලංගු වීමේ අවදානමක් මතුව තිබේ.

මේ පිළිබඳව මැදපෙරදිග බලධාරීන් දැනුවත් කොට සාධාරණ විසඳුමකට පැමිණීම දෙරටේ තානාපති කාර්යාල හා මැදිහත් වී කටයුතු කරන ලෙස මෙම ශ‍්‍ර‍්‍රී ලාංකිකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment