රැ එළිවෙනකොට ජාතික සම්පතක් විකුණලා – සජිත් පේ‍්‍රමදාස

119

මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප‍්‍රවෘත්ති බවත්, ආණ්ඩුව සහමුලින්ම ක‍්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

එක අතකින් 70, 77 වකවානුවේ පැවැති පෝලිම් යුගය රට පුරා නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, දරුවන්ට කිරිපිටි ටිකක් නැතිව දෙමව්පියන් සුසුම් හෙළන වකවානුවක් උදාවී ඇති බවද පැවසීය. සීනි වංචාව, පොල්තෙල් වංචාව සිදුකරමින් ගජ මිතුරන්ට සහන සලසන ආණ්ඩුව මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, ආණ්ඩුවට එය එතරම් අපහසු දෙයක් නොවන බව ද කීය. කොරෝනා ව්‍යසනය උග‍්‍ර වන විට පැණි පොවමින් ජීවිත අනතුරට දැමූ හැටි රටේ ජනතාවට හොඳ හැටි මතක ඇති බවද ඒ මහතා පැවසීය.

අද වන විට රටේ ගොවි ජනතාව අන්ත අසරණව සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා, පොහොර හිඟයක් ඇති කොට ඔවුන්ට නිසි ආකාරයේ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තැනට පත් කොට ඇති බවත් නෙළාගත් අස්වැන්න විකුණා ගන්නට නොහැකිව ගොවීන් අසරණව සිටින බවත් පැවසීය.

පාරිභෝගික ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට දැඩි දුෂ්කරතා මැද පෝලිම් ගැසී සිටින අතර ජීවන වියදම අහස උසට නැගී ඇති බවද පැවසූ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා, සෞභාග්‍යයේ දේශය වෙනුවට දුර්භාග්‍ය සම්පන්න දේශයක් නිර්මාණය වී ඇති බවත් මෙය ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමනාකරණ ක‍්‍රියාවලිය නිසාම හටගත් අර්බුදයක් බවත් පැවසීය.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment