රෑනක් රටින් පනින්න හදයි : බැසිල්ව ආපසු හරවයි

469

හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ කටුනායක ගුවන්තොටුපළ හරහා හොර රහසේම පළායෑමට ගත් උත්සාහය ඊයේ (12දා) අලුයම ව්‍යාර්ථ විය. ටී. ආර්. රෝහණ යන නමින් බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ අලුයම 3.00 ට පමණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් ඩුබායි බලා යෑමට උත්සාහ කර ඇත. එහෙත් ආගමන විගමන නිලධාරීන්, ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල සහ ගුවන් මගීන්ගේ දැඩි බලපෑම් එල්ලවීම නිසා බැසිල් රාජපක්‍ෂ මහතා සිය ගමන නතර කර ආපසු ගුවන්තොටුපළින් පිටව ගොස් ඇත.

කටුනායක ගුවන්තොටුපළේ විශේෂ මගී පර්යන්තයක් වන සේද මාවත :ීසකන ඍදමඑැ* නිෂ්කාශන පර්යන්තය හරහා යෑමට බැසිල් රාජපක්‍ෂ මහතා උත්සාහ කර තිබිණි.

ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනකු බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහායට පැමිණ ඇති අතර ඔවුන් ඒ මහතා රැගෙන යෑමට දැඩි උත්සාහයක් ගෙන ඇත. එහිදී ආගමන විගමන නිලධාරීන් සේද මාවත නිෂ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ඉවත්වීමට කටයුතු කර ඇති අතර ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සහ ගුවන් සේවා නිලධාරීන්ද බැසිල් රාජපක්‍ෂ මහතාට රටින් පිටව යෑමට ඉඩ නොදී කෑ ගසමින් දැඩි විරෝධයක් එල්ල කර ඇත.

ඇතිවු තත්ත්වය මත බැසිල් රාජපක්‍ෂ මහතාට ගුවන්ගත වීමට නොහැකි වී ඇති අතර අලුයම 5.00 ට පමණ ගුවන් තොටුපළින් ආපසු පිටව ගොස් ඇත.

එදින අලුයම 3.15 ට පමණ ඩුබායි බලා යෑමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ. කේ. 349 දරණ ගුවන් යානයට පිවිසීමට බැසිල් රාජපක්‍ෂ මහතා ගුවන් තොටුපළට පැමිණ තිබිණි.

මේ අතර පසුගිය වසර කිහිපය තුළ රට පුරා සිදුවූ ආන්දෝලනාත්මක මිනිස් ඝාතන, මහා පරිමාණ වංචා දූෂණ, මුදල් සොරකම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ ප්‍රභූන් පිරිසක්ද හොර රහසේම රටින් පළා යෑමට උත්සාහ කරමින් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

මෙම පුද්ගලයන් ව්‍යාජ නම් සහ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තම ස්වරූපයද වෙනස් කරමින් රටින් පළා යෑමට සැලසුම් කර ඇති බවටද කටුනායක මෙන්ම මත්තල ගුවන්තොට හරහාද මොවුන් මෙසේ පළා යෑමට සැලසුම් කරමින් සිටින බවටද වාර්තා වේ.

එම දේශපාලනඥයන්ට හිතවත් ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහාය ද ලබාගෙන ඔවුහු මෙලෙස පළා යෑමට සැලසුම් කරමින් සිටිති.

ගුවන් තොටුපළ නිලධාරීන් පවසන්නේ මෙම දූෂිත දේශපාලකයන් මෙන්ම අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් රටින් පළා යෑම වැළැක්වීම සඳහා වහාම පියවර ගත යුතු බවයි.

දේශපාලකයින්ට රටින් පළා යෑමට කොයි මොහොතකවත් සිය සහාය නොලැබෙන බව ආගමන විගමන නිලධාරීන් මෙන්ම ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයද පවසයි.

හේමන්ත රන්දුණු සහ ටී. කේ. ජී. කපිල – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment