‘රෑ ඉර පාන’ කියන්නේ කෘතවේදීත්වයේ ප්‍රසංගයක් – බන්දුල නානායක්කාරවසම්

305

‘රෑ ඉර පාන’ ගීතමය ප්‍රසංගය මෙම මස 27 වන දින ප.ව. 6.30ට මහරගම යොවුන් රගහළේදී පැවැත්වීමට නියමිතය. එය මෙරට සුභාවිත ගීතය පිණිස ඇල්මක් දක්වන බොහෝ දෙනකුගේ රසිකත්වය වැඩි වැඩියෙන් පුබුදුවාලීමට සමත් වූ සුවිශේෂී සංගීතමය සත්කාරයක්ය. පහත පළවන්නේ රෑ ඉරපාන නිර්මාතෘ ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් සමග කරන ලද සංවාදයක්ය.

ඔබේ නිර්මාණ චාරිකාවේ ආරම්භය පිළිබඳ යමක් සඳහන් කරමින් මේ කතාබහ ආරම්භ කරනවනම්.

මගේ ගීත රචනා කලාව පිළිබඳ කතා කරනවනම් කවිය අමතක කරල ඒ පිළිබඳව කතා කරන්න බැහැ. මොකද මම ගීත රචකයෙක් ලෙස මතුවෙන්න පෙර මගේ අභ්‍යාස කලාපය ලෙස මා විසින් තෝරා ගත්තේ කවිය. මට දැනෙන, හැඟෙන දෙය කවියට නගමින් ඒ නිර්මාණ පුවත්පත් පිටුවල පළවෙනව දැකල අපමණ ප්‍රීතියට පත්වූ පුද්ගලයෙක් මගේ ඇතුලෙ හිටිය. කවිය මට කොතරම් දැනුනද කියනවනම් මගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් කවි පොත් දෙකක් සමාජගත කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ හින්ද බන්දුල නානායක්කාරවසම් කියන්නෙ ගී පද රචකයෙක් වෙන්න පෙර කවියෙක්. මට මතකයි දිවයින ඉරිදා පුවත්පත ආරම්භ කළ අවධියේ එහි කවි පිටුව සංස්කරණය කළ දයාසේන ගුණසිංහ මහත්තය ඒ කාලෙ තරුණ කවි කිවිඳියන්ගේ නිර්මාණවලින් කවි පිටුව ආලෝකමත් කළ හැටි. තෙල්ලමුරේ රත්න ශ්‍රී විජේසිංහ, ගාල්ලේ යමුනා මාලනී සිල්වා, ලනුමෝදර චන්ද්‍රසිරි දොඩංගොඩ, හල්පාතොට සෙනරත් ගොන්සල්කෝරල වැනි තරුණ කවි කිවිඳියන්ගේ නිර්මාණ එක්ක එකල ගාල්ල බන්දුල නානායක්කාරවසම් කියන නමත් මගේ කවි යටින් පළවී තිබුණා. ඒ අතීතය අදටත් හරි මිහිරි මතකයක්.

'රෑ ඉර පාන’ කියන්නේ කෘතවේදීත්වයේ ප්‍රසංගයක් - බන්දුල නානායක්කාරවසම්
  • නමුත් පසු කලෙක ඔබ ඉස්මතු වෙන්නෙ ගී පද රචනය මුල්කර ගනිමින්. එය කවිකම මරාගෙන පැමිණි ගමනක්ද?
  • ගීතය විසින් මාව උස් තැනකට ඔසවා තැබීම සම්බන්ධව මා තුළ කවදත් ගීතය පිළිබඳ කෘතවේදිත්වය තිබෙනව. නමුත් මගේ ආත්මය ඇතුළෙ අදත් කවිය ජීවත් වෙනව. ලංකාවෙ කවියෙක් වෙන එක ලේසි නෑ. ඒ සඳහා එක්කො ගුරු කුළයක සෙවණ ලබන්න ඕන. නැත්නම් ප්‍රවීණ කවියන් අනුකරණය කරමින් අනුකාරකවාදියෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් කවිය ඇතුළෙ ගමනක් නෑ කියල මං අත්දැකීමෙන් දන්නව.
  • රෑ ඉර පාන දැකබලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්‍ෂකයන්ට ලැබෙන්නෙ කාලයකට පස්සෙ. ඒ පමාව පිණිස බලපාන ලද හේතු මොනවද?
  • කොරෝනා වෛරසය විසින් රටම නතර කර තබන ලද වටපිටාවක් ඇතුළේ රෑ ඉර පානට ඉන් මිදෙන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. ඒ අඳුරු කාලපරිච්ඡේදය කෙමෙන් පහව යන වටපිටාවක නැවතත් රෑ ඉර පාන රැගෙන ප්‍රේක්‍ෂකයන් අතරට යන්න මා තීරණය කරනව. එය හිතුවක්කාර තීරණයක්. තවත් ආකාරයකින් පැවසුවොත් එක්තරා කලකිරීමක් විසින් මට ලබාදුන් අන්තර්ඥානය විසින් රෑ ඉර පාන ප්‍රසංග වේදිකාවට ගේන්න අවශ්‍ය වටපිටාව සකසා දුන්න කියල කියන්නත් පුළුවන්.
  • ඒ කලකිරීම මොකක්ද?
  • මෙරට ක්‍රියාත්මක එක්තරා දැවැන්ත සමාජ සේවා සංවිධානයක් විසින් යෝජනාවක් ගේනව රෑ ඉර පාන ප්‍රසංගයක් පවත්වන්න ඒ සඳහා අනුග්‍රාහකත්වය ඒ සමාජ සේවා සංවිධානය විසින් ලබා දෙනව කියල. එතනදි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටිනව මේ වර්ෂයේ දෙසැම්බර් 30ට පෙර එය පැවැත්විය යුතුයි කියල. එහි යම් සාධනීය බවක් පැවතීම හේතුවෙන් මගේ එකඟතාවයත් ඒ සඳහා හිමිවෙනව. ඉන් පසුව මම ප්‍රසංගයේ සංවිධාන කටයුතු කරමින් ඒ සඳහා වෙහෙස වෙමින් පවතින වේලාවක අර සංවිධානය අමුතු යෝජනාවක්
'රෑ ඉර පාන’ කියන්නේ කෘතවේදීත්වයේ ප්‍රසංගයක් - බන්දුල නානායක්කාරවසම්

ගේනව. ඒ තමයි රෑ ඉර පාන ප්‍රසංගය විවෘත වේදිකාවට අරන් යමු කියල. ඒ වනවිට සුනිල් එදිරිසිංහ ඇතුළු තවත් ගායක ගායිකාවන් කීපදෙනෙක් ප්‍රසංගය පිණිස දින වෙන්කරලත් ඉවරයි. ඒ යෝජනාවත් එක්ක මට තේරුණා මේක කවදාවත් සිදු නොවන දෙයක් කියල. නමුත් ඒ ප්‍රසංගය පවත්වන්න වෙන්නෙ නැහැ කියල සුනිල් අයියට කියන්න තරම් ශක්තියක් මට තිබුණෙ නැහැ. ඒ පාර මම ගත් කටටම කිව්ව මම විවෘත සංදර්ශන කරන කෙනෙක් නොවෙයි කියල. නමුත් ඒ අය ඉන්නෙම ඒ යෝජනාවෙ. ඒ පාර මම අර සංවිධානයට කිව්ව මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික මම කරගෙන යන්නම් ඔයගොල්ලො ගිහින් සුනිල් එදිරිසිංහව කැමතිකරව ගන්න කියල. මොකද මම දන්නව සුනිල් අයිය මේකට කොහෙත්ම කැමති වෙන්නෙ නෑ කියල. අන්තිමට මොකද වෙන්නෙ. අර සංවිධානය කිසිම සද්දයක් බද්දයක් නැතුව ඒ කටයුත්තෙන් ඉවත් වෙනව. ඇත්තටම මම අද ඒ අයට ස්තුතිවන්ත වෙනව. මොකද ඔවුන් මාව අමාරුවෙ දැමීම තුළ තමයි මම අලුත් ශක්තියකින්, ජවයකින් නැවත ඉස්මතු වෙන්නෙ. මගේ තාත්ත උග්‍ර වාමාංශිකයෙක්. පාන්දර හතරට නැගිටල රාත්‍රි දොළහ වෙනකම් නොකා නොබී වැඩ කරපු තාත්ත කෙනකුගේ පුතෙක් ලෙස අනුග්‍රාහකයකුගෙන් තොරව රැ ඉරපාන පවත්වන්න මං තීරණය කරනව.

  • දැනට ඒ සඳහා පවතින සූදානම මොන වගේද?
  • මෙවර රෑ ඉර පාන නරඹන ප්‍රේක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ආකාරයෙන් සියලු කටයුතු සංවිධානය වෙමින් පවතිනව. මේ දැවැන්ත කාර්යය පිණිස මගේ හිතවතුන් විසින් ලොකු සහයෝගයක් ලබා දෙමින් සිටිනව. ප්‍රසංගය පිණිස විශාරද සුනිල් එදිරිසිංහ, ශෂිකා නිසංසලා, උරේෂා රවිහාරි සහ රවීන් කනිෂ්ක ඇතුළු තවත් පිරිසක් ගායනයෙන් සහය දක්වනව. ඒ වගේම අපේ රටේ ප්‍රවීණ වාi ශිල්පීන් විශාල පිරිසක් සංගීතය සපයන මෙවර රෑ ඉර පාන කෘතවේදිත්වයේ ප්‍රසංගයක් ලෙසත් නම් කරන්න පුළුවන්.
  • “කෘතවේදීත්වයේ ප්‍රසංගය” කියන්නෙ වෙනත්ම වරගැන්වීමක්. ඒ පිළිබඳ වැඩිදුරටත් යමක් සඳහන් කරන්න පුළුවන්ද?
  • මා විසින් මේ වනවිට ගීත 2000 ක් පමණ රචනා කොට තිබෙනව. මා නිතර නිතර සඳහන් කරන පරිදි මම ගීත රචකයෙක් බවට පත්වෙන්න පෙර හොඳ රසිකයෙක් මාව නැලවූ, ලෙලවූ ගීත 5000 ක් පමණ අපේ ගීත සාහිත්‍යයේ තිබෙනව. අන්න ඒ ගීත සමූහයෙන් තෝරා ගත් ගීත රැසක් සහ මා විසින් රචනා කරන ලද ගීත ගණනාවක් රසවිඳින්න මෙවර ප්‍රසංගය නරඹන්නන්ට අවස්ථාව ලැබෙනව. මෙහි තිබෙන විශේෂත්වය තමයි අප්‍රකටව සිටිමින් සිංහල ගීත සාහිත්‍යයට අප්‍රමාණ මෙහෙවරක් කළ හරිම සුන්දර මිනිසුන් පිරිසක් පිළිබඳව අතීතාවර්ජනයක් සිදු කිරීම. ඒ නිර්මාණකරුවන්ගේ වගවාසගම් පිළිබඳව මම මෙතනදි විස්තර කරන්නෙ නැහැ. නමුත් ලබන 27 දා පැවැත්වෙන රෑ ඉර පාන ප්‍රසංගය නරඹන රසික ප්‍රජාව ඒ නිර්මාණකරුවන්ගෙ ගීත රසවිඳල ඒ ඒ ගීත නිර්මාණය කිරීමේ පසුබිම් කතාවට සවන් දුන්නට පස්සෙ තම තමන් අසුන්ගෙන සිටින අසුනින් නැගිටල ඔවුන්ට ගෞරව කරාවි කියන හැඟීම මා තුළ පවතිනව. සේකර, මඩවල, ඩෝල්ටන් අල්විස් වැනි ප්‍රවීණයන්ගෙන් සමාව ඉල්ලමින් අර අප්‍රකට නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලිත්වය වේදිකාවට ගේන මෙවර ප්‍රසංගය ප්‍රේක්‍ෂකයන්ට අලුත්ම අත්දැකීමක් ගෙන දෙන නිර්මාණ කටයුත්තක් වෙන්නෙ ඒ නිසයි.
  • සුභාවිත ගීතය තව දුරටත් නඩත්තු කරන්න ඔබ විසින් දරන උත්සාහය අගය කළ යුත්තක් නමුත් අද සිංහල ගීත සාහිත්‍යයේ යම් පසුබැසීමක් දකින්නට ලැබෙනව නේද?
  • ඔව්… එහෙම දෙයක් දකින්නට ලැබෙනව. අපේ රටේ ගීත විචාරකයෝ කියල කියාගන්න පිරිසත් මේකට

වගකියන්න ඕන. ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අති විශිෂ්ට ගීත රචකයන්ගේ නිර්මාණ පවා මේ අය විසින් අවතක්සේරු කරමින් ඉන්නව. ඒ ඔවුන්ගේ අවබෝධයේ තරම වෙන්න ඇති. නමුත් ඒ ප්‍රවීණයන් විසින් ප්‍රදානය කළ අනගි මිණිමුතු වැනි නිර්මාණ විසින් තමයි මා ඇතුළු අපේ පරම්පරාවට පාර පෙන්නුවෙ. ඒ බව අපි උස් හඬින් රටට කියන්න ඕන. අලුත් පරම්පරාවට සුභාවිත ගීතය පිළිබඳ ඇල්මක් ඇති කරන්න නම් ඒ දෙය කළ යුතුමයි. මොකද අපේ ප්‍රවීණයන් විසින් කරන ලද මෙහෙවර මත තමයි මේ ක්‍ෂේත්‍රය තුළින් අපිට මතුවෙන්න පුළුවන් වුණේ. එහෙමනම් සුභාවිත ගීතය තවදුරටත් පවත්වාගෙන යෑම පිණිස අපි විසින් දැන් කළ යුතු පැහැර නොහැරිය යුතු යුතුමක් තමයි ඒ නිර්මාණ පිළිබඳ යළි යළිත් කතාබහ කරමින් ඉදිරියට අරගෙන යන එක. එම නිසාම තමයි මෙවර රෑ ඉර පාන සැමරුම් ඇගයුම් යාමයක් ලෙස නම් කළේ.

● රුවන් ජයවර්ධන

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment