රිදියගම සතුන් මස් කිරීම ගැන බුද්ධික මැති සබයේදී ප්‍රශ්න කරයි

168

රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා දැයි සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) ප්‍රශ්න කළේය.

සභාවේ කටයුතු ආරම්භයේදී මහින්ද අමරවීර ඇමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් බුද්ධික පතිරණ මහතා එසේ අසා සිටියේය. සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයකු විසින් සමාජ මාධ්‍යයට හඬපටයක් නිකුත් කර තිබෙන බවත් එහි සතුන් මස් කර විකුණන බවට සඳහන්ව තිබෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. එහිදී මතු වූ සංවාදය මෙසේය.

බුද්ධික පතිරිණ මහතා – රිදියගම සෆාරි උද්‍යානයේ අයථා කටයුතු සිදු වන බව කියනවා. හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියත් ඊටම සමාන ප්‍රකාශයක් මීට කලින් කර තිබුණා. රිදියගම සෆාරි උද්‍යානය ගැන බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද?

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා– අපි ඒ ගැන සොයා බලන්නම්.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා – මේක මට අදාළ කාරණයක් නොවේ. වනජීවී ඇමැතිවරියට අයිති කාරණයක්. මම දන්න තරමින් ඇමැතිවරිය මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කර තියෙනවා. ඇමැතිවරිය ඉදිරියේදී සිද්ධිය ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment