රිම් එකෙන් යන මිනිසුන්ගේ කෝටි 1500ක් නැති කළ පිරමීඩ ජාවාරම…

996

පිරමීඩ ක්‍රමය තුළ මුදල් ආයෝජනය කිරීම යනු මෙරට තුළ මහා පරිමාණ මූල්‍ය වංචාවක් බව යළි යළිත් තහවුරු වෙමින් ඇත. කනගාටුවට කරුණ නම් ඒ පිළිබඳ අවම හෝ අවබෝධයකින් තොරව මෙරට ජනතාව කටයුතු කරමින් හිඳීමය. පිරමීඩ ජාවාරම මෙරට ජාවාරම් ලැයිස්තුවට එක් වූ තවත් එක් ජාවාරමක් බවට පත් වන්නේ කලක පටන්ය. විවිධ මුහුණුවරින් සහ නොයෙක් උපාය උපක්‍රම භාවිතා කරමින් සිදුකරගෙන යනු ලබන මෙම ජාවාරම පිළිබඳ නොයෙක් වර විවිධ මාධ්‍ය ඔස්සේ රට දැනුවත් කළ ද ඒ හරහා ජනතාව ඉගෙන ගත් පාඩමක් නැති බව යළි යළිත් සනාථ වෙමින් ඇත. ගොඩ වැඩිකර ගැනීමේ මානසික ව්‍යාදියෙන් පෙළෙන මිනිසුන් ජීවත් වන රටක් ලෙස දෙස් විදෙස් ජාවාරම්කරුවන් තම තමන්ගේ ජාවාරම් පිණිස මෙරට තෝතැන්නක් බවට පත් කරගනු ලබන්නේ රට වැසියන් ලෙස අප රැවටෙන තරම පිළිබඳ මනා අවබෝධයක් මෙවැනි ජාවාරම් ආදියේ නිරත පිරිස තුළ බැවින්ය.

පිරමීඩ ජාවාරම පිළිබඳ නවතම තොරතුරු රැසක් මෙවර කරළියට පැමිණෙන්නේ ඉකුත් දිනක කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් නිකුත් කළ නියෝගයකින් අනතුරුවය. මොරටුව එගොඩඋයන පදිංචි පුද්ගලයකු නීතිඥ නලින් පතිරණ මහතා මගින් පෞද්ගලිකව අධිකරණය හමුවේ පැනවූ නඩුවකට අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කරන අතර අදාළ නියෝගයෙන් කියවෙන්නේ පිරිමීඩ ක්‍රමය යටතේ මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800ක පමණ මුදලක් වංචා කළා යැයි සඳහන් ස්පෝටිස් චේන් සොසයිටි ශ්‍රී ලංකා නැමැති ආයතනයෙ ප්‍රධානීන් පස්දෙනකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවූ බවය. එම සිද්ධිය සම්බන්ධයෙන් නැවත දෙසැම්බර් මස 09 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට ද ඔවුන් පස් දෙනා හමුවේ සිතාසි නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට ඇත.

මහා පරිමාණ මූල්‍ය ජාවාරමක නිරත මහ මොළකරුවන් ඇතුළු ඔවුන්ගේ උගුලට හසුවූ දහස් සංඛ්‍යාත මුදල් තැන්පත්කරුවන් පිළිබඳ රට තුළ නැවත කතාබහක් හටගන්නේ ඉන් අනතුරුවය. ස්පෝර්ටි චේන් සොසයිටි නමින් එතෙක් දිනක් මෙරට තුළ ක්‍රියාත්මක වූයේ මූල්‍යමය මර උගුලක් බවත් ඒ වන විට ද දෙස් විදෙස් හී ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එහි ගොදුරු බවට පත්වී ඇති බවත් බොහෝ දෙනකුට අවබෝධ වන්නේ එම අධිකරණ කටයුත්තෙන් අනතුරුවය.

වාර්තා වන ආකාරයට ඉහත නම සඳහන් ආයතනය මෙරට තුළ ස්ථාපිත කරනු ලබන්නේ මින් වසර කිහිපයකට ඉහතදීය. එය ජනතාවක් ජනතාව අතර ප්‍රචලිත කරනු වස් කොළඹ පිහිටි තරු පන්තියේ හෝටල් කිපයක් තුළ වට කීපයකින් යුත් සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වා ඇත. එහිදී ආයතන ප්‍රධානීන් ලෙස පෙනී සිටින පුද්ගලයන් සිය ඇරයුම පරිදි ඒ සඳහා පැමිණි පුද්ගලයන් අමතමින් සඳහන් කර සිටින්නේ තම ආයතනය විසින් sport චේන් නමින් නවතම පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙන බවත් එහි මුදල් ආයෝජනය කිරීම තුළ මෙතෙක් නොවී විරූ ප්‍රතිලාභ රැසක් ගනුදෙනුකරුවන්ට හිමිවන බවත් එබැවින් ඉහළම විශ්වාසයක් යටතේ මෙම නව හඳුන්වාදීම තුළ මුදල් ආයෝජනය කිරීමට ගනුදෙනුකරුවන්ට ස්වර්ණමය අවස්ථාවක් උදාකර දෙන බවත්ය. ඒ ආකාරයෙන් ඉහළම මාදිලියෙන් යුත් ප්‍රවර්ධන වැඩසටහන් රැසක් මගින් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගන්නා මෙම පිරිස සිය ජාවාරම දිගින් දිගටම සිදුකරගෙන යනු ලබන්නේ තමන් වටා එක් රැස් වන ගනුදෙනුකරුවන් දිගින් දිගටම රැවටීම තුළින්ය.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නිරත විශාල පිරිසක්, විදේශගත ශ්‍රී ලාංකිකයන්, විවිධ වෘත්තිකයන් ඇතුළු සමාජයේ නොයෙක් ස්ථරයක් නියෝජනය කරන දස දහස් ගණනින් වූ ගනුදෙනුකරුවන් ස්පෝර්ටිස් චේන් මෘදුකාංගය ඔස්සේ තම මුදල් ආයෝජනය කිරීමට පෙළඹෙන අතර ආයතන ප්‍රධානීන් ලෙස පෙනී සිටින පුද්ගලයන් එහිදී කටයුතු කරනු ලබන්නේ එම ගනුදෙනුකරුවන් ලවා තව තවත් පිරිස් එක් කරගනිමින් ආයතන ගනුදෙනුකරුවන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ නංවා ගැනීම පිණිසය. කෙසේ වුවද පිරමීඩ ක්‍රමය තුළ පමණක් නොව වෙනත් කුමන හෝ ක්‍රමයකින් අයථා ලෙස මුදල් ඉපයීම යනු දිගින් දිගටම සිදු කළ හැකි කටයුත්තක් නොවන බව නොරහසක්ය. එම පොදු නියමය ඉහත සඳහන් ආයතනයට ද වලංගුය. එහි මුදල් ආයෝජනය කිරීමේ දී සිදු වූ යම්කිසි සැකකටයුතු සිදුවීමක් හේතුවෙන් මොරටුව එගොඩඋයන පදිංචි පුද්ගලයකු නීතිඥයකු මාර්ගයෙන් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමත් සමග සියල්ල හෙළිදරව් වන්නට ගන්නා අතර එහිදී අධිකරණය හමුවේ පෙනීසිටිමින් වැඩිදුරටත් නීතිඥවරයා සඳහන් කර සිටින්නේ එම සිද්ධියට අදාළව දහසකට අධික පිරිසක් මෙම වංචනිකයන්ට හසුවී ඇති බවත් ඒ පිළිබඳව මේ වන විට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් පවතින බවත්ය.

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව ලැබෙමින් පවතින තොරතුරු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම මූල්‍ය වංචාවට හසු වූ පිරිස විසින් ඒ සම්බන්ධව පොලිස්පතිවරයා හමුවේ ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එම පැමිණිල්ලට අනුව 8000 ට අධික පිරිසක් මෙම මූල්‍ය වංචාවේ ගොදුරු බවට පත්වී ඇති බවත්ය. එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම මූල්‍ය වංචාවේ දළ වටිනාකම රුපියල් කෝටි 1500 ක පමණ අගයක් ගන්නා බවය. මේ අතර sports චේන් society sri lanka නමින් හඳුන්වනු ලබන එම ආයතනයේ මුදල් ආයෝජන කළ තැනැත්තන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ලැබී ඇත. ඒ සම්බන්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දිනෙන් දින පැමිණිලි ලැබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඉකුත් දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය. මේ අතර අල් ජසීරා පුවත් සේවය ද ඉකුත් දා මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටින්නේ ස්පෝර්ටිස් චේන් නමැති ව්‍යාජ මුදල් ආයෝජන ආයෝජන ක්‍රමයකට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් හසුවී ඇති බවය.

වසර ගණනාවක් පුරා රටේ මහජනතාව නොමඟ යවමින් සිදුකරගෙන ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක සැබෑ තතු රට හමුවේ අනාවරණය වන්නේ ඒ ආකාරයෙන්ය. එහි මුදල් ආයෝජනය කළ විශාල පිරිසක් මේ වන විට ඉමහත් අපහසුතාවයට පත්ව ඇත. ආකර්ෂණීය මවාපෑම් හමුවේ මුළාවට පත්වන ඔවුන් තම ඉඩකඩම් පවා විකුණා දමමින් මෙහි මුදල් ආයෝජනය කර ඇතත් එහි ප්‍රතිලාභ ලෙස ඔවුන්ට සිදුව ඇත්තේ තමන්ට වූ අසාධාරණය පිළිබඳ නීතිය හමුවට ගොස් පැමිණිලි කිරීම පමණය. ඒ අනුව මෙම මූල්‍ය වංචාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තවදුරටත් පුළුල් පරීක්ෂණ සිදුකරමින් තිබෙන අතර මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට හසුවූ තවත් විශාල පිරිසක් රට පුරා විසිරි සිටින බව සිදුකරමින් පවතින විමර්ශනවලින් හෙළිදරව් වෙමින් ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment