රිමාන්ඩ් ඉන්න ‘ආප්ප සුදාගේ’ කෝටි පහේ ගංජා හේන වටලයි

137

තණමල්විල ආප්ප සුද්දා නැමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඔහුගේ ගෝලයන් යොදවා යාල අභයභූමිය කේන්ද්‍ර කරගෙන සරුවට වගාකර තිබූ ගංජා හේනක් වටලා රුපියල් කෝටි 05 කට අධික වටිනාකමින් යුත් ගංජා තොගයක් සැකකරුවන් 08 දෙනකු ගිනිඅවිද සමග අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීහු (12දා) සමත්වූහ.

පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාගේ යටතේ මෙම ප‍්‍රහාරක ඒකකය කි‍්‍රයාත්මක වන අතර එම ඒකකයේ මාණ්ඩලික නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කීර්තිපාල මහතාට ලැබුණු තොරතුරක් මත වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් තිස්දෙනෙකුගෙන් පිරිසක් යොදවා මෙම වැටලීම සිදුකර ඇත.

ගුවන් හමුදා ඩ්‍රෝන කැමරාවලටවත් හසුනොවන ආකාරයට අක්කර 04 කට වැඩි ප‍්‍රමාණයක රූස්ස ගස්වලින් ආවරණය වී ඇති ස්ථානයක මෙම මහා පරිමාණ ගංජා වගාව කරගෙන ගොස් ඇත. පොලිස් නිලධාරීන් ගල්ගේ වනජීවී කාර්යාලයේ සිට කැබිලිත්ත හරහා දින තුනක පමණ කාලයක් ගත කරමින් රක්‍ෂිතයේ කිලෝමීටර් 40 ක් පමණ පාගමනින් ගොස් වැටලීම සිදුකර ඇත.

සැකකරුවන්ට පලායෑමට නොහැකි ලෙස වැටලීම සිදුකර සැකකරුවන් 08 දෙනකු සමඟ බෝර 12 ගිනිඅවි 03 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම ස්ථානය මීට පෙර වැටලීම් සිදුකර නැති බව ප‍්‍රකාශ කර තිබේ. දැනට මත්ද්‍රව්‍ය චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින ‘‘තණමල්විල ආප්ප සුද්දා’’ නමැති ජාවාරම්කරු විසින් මෙය පවත්වාගෙන ගොස් ඇති බවද හෙළි කරගෙන ඇත. ආප්ප සුද්දා නමැති ජාවාරම්කරු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කොළඹදී කොටුවීම නිසා බන්ධනාගාර ගතකර සිටින බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඔහුගේ ප‍්‍රධාන ගෝලයාද සිටින බවත් හඳුනාගෙන ඇත.

වලාන දූෂණ මර්දන ප‍්‍රහාර ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් වන අජිත් ශාන්ත, මහේන්ද්‍ර, ඔස`ද, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන චතුරංග, බණ්ඩාරනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර සැකකරුවන් මොනරාගල ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාරදීමට ඊයේ (13දා)කටයුතු කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment