රිමෝට් එකෙන් සෙක්ස් කිරීම

3396

සූම් තාක්‍ෂණය ඔස්සේ පාසල් දැරියන් 16 දෙනකුට ලිංගික අතවර කළ ටියුෂන් ගුරෙකු ගැන මේ දවස්වල විශාල වශයෙන් පුවත් පළවෙන්නට පටන්ගෙන තිබේ. තිස් හැවිරිදි පුද්ගලයකු වූ මේ ගුරා කළුතර උතුරේ පදිංචිව සිටි අතර ගණිත විෂය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. සිය නීච ලිංගික හැසිරීම ගැන හෙළිවීමෙන් පසු ගුරා පැනගිය නමුත් 11 වැනිදා පෙරවරුවේදී අත්අඩංගුවට ගන්නා ලදී. ටියුෂන් ගුරා සූම් තාක්‍ෂණය ඔස්සේ ශිෂ්‍යාවන්ගේ නිරුවත් ශරීර සහ ශරීර කොටස් ප්‍රදර්ශනය කරවාගෙන ඒවා පටිගතකර සිය පරිගණකයෙහි ගබඩාකර තබාගෙන ඇත. මේකා මෙවැනි වලත්ත වැඩක් කරන බවට ඔත්තුව දී ඇත්තේ නිත්‍යානුකූල බිරිඳය. ඇය විටින් විටි සැකකරුගේ ලැප්ටොප් පරිගණකය පරීක්‍ෂා කිරීමේදී දැරියන් වෙතින් ලබාගෙන ඇති නිරුවත් ඡායාරූප හෝ නිරුවත් ශරීර කොටස් දැක තිබේ. ඇතැම් විට සිය උපකාරක පංතිවලට පැමිණෙන දැරියන් වාහනයේ නංවාගෙන ගොස් කැලෑබද ප්‍රදේශවලදී ඔහු විසින් ඔවුන්ට ලිංගික අතවර කරනු ලැබ ඇත. සැකකරුගේ අතවරයට ගොදුරු වූ දැරියන් අතර කළුතර පොලිසියක නිලධාරිනියකගේ දියණියක් ද වෙයි.

සූම් තාක්‍ෂණයෙන් ලිංගික අතවර කිරීම යනු රිමෝට් එකෙන් SEX කිරීම හා සමාන ක්‍රියාවකි. සූම් තාක්‍ෂණය ඔස්සේ කෙනකුට අතවර කිරීමේදී එකී පාර්ශ්වය ඒ සඳහා පොළඹවා ගත යුතුය. සමහර විට කුඩා සිසුවියන් කිසිත් නොදන්නාකම නිසා කාලකණ්ණි ගුරාගේ පහත් ඉල්ලීම්වලට එකඟ වෙන්නට ඇති. මේ සමාන වන්නේ ඇතැම් කට්ටඩින්ගේ ක්‍රියාවලටය. සමහර කට්ටඩි දෙවියන්ගේ හෝ යකාගේ අවශ්‍යතා යැයි කියමින් ආතුර කාන්තාවගේ ඇඳුම් ගලවා ඇයට අතවර කරති. මෙවැනි ගුරුකම් බොහෝවිට සිදුකෙරෙන්නේ ආතුරයාගේ භාරකරුවන් පිටත සිටිත්දී කාමරයක් තුළය. ඒ කාමරයට පැමිණීම ආතුරයාගේ ඥාතීන්ට තහනම් ය. ඇතැම් අවස්ථාවකදී ආතුරයා මෙයට විරුද්ධ වන බැවින් ඇගේ භාරකරුවෝ කට්ටඩියාට අතපය ගැළවෙන ලෙස නෙළති. සර් සහ ශිෂ්‍යාව අතර සූම් ක්ලාස් එකක් යන විට එය තනිකරම අධ්‍යාපනික කටයුත්තක් නිසා දෙමාපියන් එයට ඔළුව දමන්නේ නැත. ඒ නිසා තමන්ට අභිමත පරිදි ශිෂ්‍යාවන්ගෙන් වලත්ත ඉල්ලීම් කිරීමට ටියුෂන් ගුරාට හැකි විය. මේ ආකාරයෙන් ලිංගික සංතර්පනය ලැබීම අලුත් දෙයක් නොවේ. බොහෝ විට ඇතැම් තරුණ තරුණියෝ වට්ස්ඇප් ඔස්සේ මෙබඳු දේවල්වල යෙදෙති. තාක්‍ෂණය කොතරම් යහපත් වුවත් එමගින් සංස්කෘතියට කෙළවෙන අවස්ථාවක් තිබේ. වට්ස්ඇප් හරහා ලව් කිරීම සහ සූම් හරහා සෙක්ස් කිරීම යනු තාක්‍ෂණය නිදන කාමරයට පිවිස අනංග රංගනයෙහි යෙදීමේ අවස්ථාවකි.

ඉහත සඳහන් ගුරාගේ සූම් ගණන් පාඩම් මගින් හෙළිදරව් වන්නේ දෙමාපියන් සිය දරුවන් කෙරෙහි කොතරම් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු ද යන කාරණයයි. දරුවා ඕනෑම විටෙක අලුත් දේ කරා ඇදී යයි. ඔහුට හෝ ඇයට ලිංගිකත්වය යනු අලුත් දෙයකි. ලිංගික ක්‍රියාකාරකමක් යනු අලුත් දෙයකි. මේ අලුත් දේවල් අත්හදා බැලීමට දූ දරුවෝ ස්වභාවයෙන්ම කැමැති වෙති. ටියුෂන් ගුරා විසින් අල්ලනු ලැබ ඇත්තේ මේ කියන නාඩියයි. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ අඩුපාඩු රැසක් තිබේ. මේ අඩුපාඩු සම්පූර්ණ කිරීමට යොදන ලද විසඳුම ප්‍රයිවට් ටියුෂන් ය. මේ කියන ප්‍රයිවට් ටියුෂන් 1973 දක්වා සුළු වශයෙනුත්, ඉන් පසු මහා පරිමාණ වශයෙනුත් ආරම්භ විය. ඕනෑම දෙයක් වඩාත් ව්‍යාප්ත වන විට විවිධ නරක දේවල් සිදුවෙයි. ලංකාවේ ටියුෂන්වලට ඇත්තේ ද එබඳු තත්ත්වයකි. මේ රටේ පුද්ගලික උපකාරක පංති සහ ජාත්‍යන්තර පාසල් අතර කිසිදු වෙනසක් නැත. මේ දෙකම නියාමනය කරනු නොලැබේ. මේ නිසා මේ අංශ දෙක තුළම විවිධ කුණු කසළ හට ගනී. ටියුෂන් ගුරුවරු පංතියේදී බහුලව කුණුහරුප කියති. කුණුහරුප කියන ගුරුවරුන්ට ළමයින් තුළ කැමැත්තක් ඇත. එවැනි ගුරුවරුන්ගෙන් ෆන් එකක් ලබා ගැනීම සඳහාම ටියුෂන් පන්ති යන ළමයින් සිටිති. මේ ළමයින් ඉගෙන ගන්නා මඟුලක් නැත. ටියුෂන් ගුරාට මාස්පතා රුපියල් හත්අට දහ ගෙවමින් පංතියේදී ඔහු කියන කුණුහරුප ටික අහගෙන එයින් ආතල් එකක් ලබා විභාග ෆේල් වීම මේ ළමයින්ගේ ශෝකජනක ඉරණම වී ඇත. ටියුෂන් නියාමනය සඳහා වැඩපිළිවෙළක් යොදන ලෙස අපි රජයන් ඉල්ලමු. නො එසේ නම් එක්කෝ ටියුෂන් නැවැත්විය යුතු ය. නැත්නම් පාසල් ටික වසා දමා සමස්ත අධ්‍යාපනයම ටියුෂන් කට්ටියට භාරදිය යුතු ය.

advertistmentadvertistment
advertistmentadvertistment