රියැදුරන්ගෙන් 90% කට ඇස් ලෙඩ: සෑම තත්පර 10 කට වරක් රිය අනතුරක්!

256

මෙරට රථ වාහන රියැදුරන්ගෙන් සියයට අනූවකට ම පෙනීමේ දුර්වලතා පවතින බව සමීක්‍ෂණයකට අනුව හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ නරේෂ් ප්‍රදාන් මහතා පවසයි.

රථ වාහන රියැදුරන්ගේ පෙනීම සම්බන්ධව සිදුකළ මෙම සමීක්‍ෂණයට අනුව දුර පෙනීම සහ ළඟ පෙනීම දුර්වලතා, ඇසේ සුද මතුවීම, ග්ලූකෝමා (ඇසේ පීඩනය) වැනි අක්‍ෂි ආබාධ බොහෝ රියැදුරන්ට පවතින බව හඳුනාගත් බවද සඳහන් කරයි.

එබැවින් රියැදුරු බලපත් ලබාදීමේ දී දැනට සිදුකරන කළු සුදු අංක පුවරුව මගින් සිදුකරන පෙනීමේ පරීක්‍ෂාව ප්‍රමාණවත් නැතැයි ද ඒ මහතා කීවේය.

රියැදුරන්ට පවතින වර්ණ අන්ධභාවය, පැති පෙනීමේ දුර්වලතා මෙම පරීක්‍ෂාව මගින් හඳුනාගත නොහැකි බවත් බොහෝ රථ වාහන අනතුරුවලට හේතුව මෙම අක්‍ෂි දුර්වලතා බවත් හෙතෙම පැවසීය.

විශේෂයෙන්ම දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට මතුවීමේ වැඩි අවදානමක් සහිත ග්ලූකෝමා තත්ත්වය නිසා පැති පෙනීමේ දුර්වලතාවය සහ වර්ණ අන්ධභාවය මතුවන බවත් සඳහන් කළ නරේෂ් ප්‍රදාන් මහතා මෙම රෝගය නිසා ඇස් අන්ධ වීමේ අවධානම ද වැඩි බව කීවේය.

එබැවින් රියැදුරු බලපත් ලබාදීමේ දී පූර්ණ අක්‍ෂි පරීක්‍ෂාවක් සිදුකිරීම මගින් රථවාහන අනතුරු අවම කර ගැනීමට හැකි බව ද සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකාවේ තත්ත්පර දහයකට එක් රිය අනතුරක් සිදුවන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව හෙළිවී ඇති බවත් දිනකට මාරාන්ති රිය අනතුරු දහයක් සිදුවන බවත් වාර්තා වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ දෘෂ්ටි විශේෂඥ නරේෂ් ප්‍රදාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment