රියැදුරු කොන්දොස්තරලා නොමැතිව ලංගම බස් 500 ක් ධාවනය ඇනහිටී

188

රියැදුරු – කොන්දොස්තරවරුන් නොමැති නිසා දෛනිකව ශ්‍රී ලංගම බස් රථ 400 ත් 500 ත් අතර සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්කිරීමට සිදුව තිබෙන බව ශ්‍රී ලංගම පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් සාගර ධනංජය මහතා ‘දිවයින’ට පැවසීය.

මීට අමතරව ටයර්, ටියුබ් ඇතුළු අමතර කොටස් නොමැති නිසා මේ වනවිට බස් රථ 1500 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ලංගමයට දේශපාලන පත්වීම් ලබාදීම හේතුවෙන් පොදුවේ සේවක සංඛ්‍යාව විශාල අගයක් ගෙන තිබුණත් මේ වනවිට රියැදුරු සහ කොන්දොස්තර තනතුරුවල පුරප්පාඩු 4000 කට අධික සංඛ්‍යාවක් පවතින බව ද හෙතෙම කීය.

පවතින පුරප්පාඩු සඳහා පසුගිය වසරේදී බඳවාගැනීම් සිදුකිරීමට සැලසුම් කර තිබුණත් එම කටයුතු මෙතෙක් සිදු වී නැතැයි ද හේ කියා සිටියේය.

පවතින ඉන්ධන අර්බුදය නිසා බස් රථ නිසි ලෙස ධාවනය නොවීම නිසා ජනතාවට බස් රථවල පාපුරුවේ සහ පිටුපස අවදානම් සහහගතව ගමන් කිරීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ලංගමයට අවශ්‍ය තරම් ඉන්ධන තිබුණත්, බස් රථ සේවකයන්ගේ පවතින පුරප්පාඩු නිසාත් අමතර කොටස් නොමැති වීම නිසාත් රාජ්‍ය ප්‍රවාහන සේවය ලෙස ලංගමයට බස් රථ නිසි ලෙස ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි ද හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment