රිය අනතුරට අත්අඩංගුවට ගත් උමාරියාට ඇප

1487

රාජගිරිය ගුවන් පාලම අසලදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනපි‍්‍රය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මිය ඊයේ (01 දා) කොටුව මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ 5 ක ශරීර ඇපමත මුදාහරිනු ලැබීය.

මීට අමතරව අනතුරින් තුවාල ලැබූ ති‍්‍රරෝද රථ රියැදුරුගේ පාර්ශ්වයට රුපියල් 80,000 ක සානුකම්පිත දීමනාවක් ද සැකකාර උමාරියා විසින් ලබාදුන්නාය.

උමාරියා සිංහවංශ මහත්මිය පදවමින් තිබූ මෝටර් රථය  රාජගිරිය වැලිකඩ ගුවන් පාලම අසලදී ති‍්‍රරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ති‍්‍රරෝද රථ රියැදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයට පෙරේදා (31 දා) සවස ඇතුළත් කර තිබේ.

මෙම සිද්ධියත් සමග උමාරියා සිංහවංශ අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසියේ රථ වාහන විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (1 දා) පැවැසීය.

උමාරියා පැදවූ රථය බොරැුල්ල දෙස සිට බත්තරමුල්ල දෙසට ධාවනය වෙමින් තිබියදී ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ති‍්‍රරෝද රථය ගුවන් පාලම යටින් පරණ කෝට්ටේ පාරට ඇතුළු කරමින් සිටියදී මෝටර් රථය ති‍්‍රරෝද රථයේ පසුපස බඳේ වැදී තිබේ. එහිදී එම ති‍්‍රරෝද රථ රියැදුරු රථයෙන් එළියට විසිවී වැටී ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ බොරැුල්ල, ගෝතමී පාරේ පදිංචි බී.ඒ.ඒ. සමරකෝන් නමැති අයෙකි.

ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ බත්තරමුල්ල සිය මවගේ නිවස කරා තවත් මිතුරියක සමග යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.

මේ පිළිබඳව වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. වසන්ත කෝරලගේ මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහේෂ් ජයසේන මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment